නිදහස් පක්ෂය දෙකඩ කරන්න බැහැ

Tuesday, 17 February 2015 - 18:52

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%A9+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය නොතකා එම පක්ෂයේ පිරිසක් නුගේගොඩ හෙට පැවැත්වෙන රැස්වීමට සහභාගිවීමට තීරණය කර තිබෙනවා. මහින්ද සමඟ රට දිනවීමට ඔබ සූදානම්ද යන තේමාව යටතේ හෙට දිනයේ රැස්වීම සංවිධාන කර ඇත්තේ මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමයයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන  ඇතැම් පළාත් සභා මන්ත්‍රීවරුන් මෙන්ම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් මෙම රැස්වීමට සහභාගිවීමට දැනටමත් තීරණය කර තිබෙනවා. බස්නාහිර මහ ඇමති ප්‍රසන්න රණතුංග පවසන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය අපේක්ෂා කළ අයෙකු ලෙස හෘදසාක්ෂියට අනුව මෙම තීරණය ගත් බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රිවරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවද මහ ඇමතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුනිල් ජයමිණි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ තමන් ඇතුලූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් සභා මන්ත්‍රිවරුන් රැසක් හෙට මෙම  රැස්වීමට සහභාගි වන බවයි. කැළණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර ද, තමන් ඇතුලූ නිදහස් පක්ෂ පළාත් පාලන ආයතන නියෝජිතයන් රැසක් හෙට රැස්වීමට එක්වන බව සඳහන් කළා.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝමාගම සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා හිටපු ජනාධිපතිවරයා අත්‍යාවශ්‍ය බවයි.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය පවසන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිට දෙකඩ වී ඇති බවයි. ගලගෙදර ප්‍රදේශයේ පෙරේදා පැවති රැස්වීමකදී සභා නායක අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මේ බව කියා සිටියා.

මේ සියලූ කරුණු සම්බන්ධයෙන් විමසීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා අප සම්බන්ධ කරගත්තා. නුගේගොඩ හෙට පැවැත්වෙන රැළියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කර නොමැති බවයි පක්ෂ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා සඳහන් කළේ.  

මෙවැනි රැස්වීමක් පැවැත්වීම මගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ බෙදීමක් සිදුවන්නේදැයි අප ඔහුගෙන් විමසීමක් කළා. නිදහස් පක්ෂය තුළ කිසිදු බෙදීමකට ඉඩ නොතබන බවයි මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේ.

හෙට දිනයේ රැස්වීමට නිදහස් පක්ෂයට ආරාධනා කර නැතැයි අනුර යාපා මන්ත්‍රීවරයා ප්‍රකාශ කළද මහජන එක්සත්  පෙරමුණේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා පවසන්නේ සන්ධානයේ සියලූ පක්ෂවලට ආරාධනා කළ බවයි. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ කැමැත්ත කුමක්දැයි හෙට පැහැදිළිවනු ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර අද රැස්වූ බියගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම බල මණ්ඩලය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මීළඟ මහ මැතිවරණයේ අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බවට වන යෝජනාවක් ඒකමතිකව සම්මත කරගෙන තිබෙනවා. එම යෝජනාව ඉදිරිපත් කර තිබුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ගුණසිරි ජයනාත් විසින්. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්තද එක්ව සිටියා.