විමල් වීරවංශ රහස් පොලීසියට

Monday, 23 February 2015 - 11:06

%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B7%80%E0%B6%82%E0%B7%81+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ නීතීඥවරයෙකු සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණ අද පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදුන්නා. ඒ, ඔහුට රහස් පොලීසිය කර තිබූ දැනුම්දීමකට අනුවයි. කඩුවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ජී.එච්.බුද්ධදාස කරන ලද පැමිණිල්ලකට අදාළව සිදු කෙරෙන විමර්ශන කටයුතු සඳහා විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාට මෙලෙස පැමිණෙන ලෙස දැනුම්දී තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ප්‍රකාශ කළා.

2011 වසරේ ජූලි මස 17 වැනිදා නීතිවිරෝධී පෙළපාලියක් ගමන් කළ බවට කඩුවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ජී.එච්. බුද්ධදාස  පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. එම පෙළපාලියේ ගමන් කළ අයෙකු ලෙස හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ නමද සඳහන් කර තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.  

මෙම ප්‍රකාශය ලබාදීමෙන් පසුව ජාතික නිදහස් පෙරමුනේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මාධ්‍ය වෙත අදහස්  දක්වමින් කියා සිටියේ මෙවැනි ක්‍රියාමාර්ග තුළින් තමා සැළසුම් කළ දේශපාලන ක්‍රියාවලිය නතර කළ නොහැකි බවයි.

මේ අතර අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ තවදුරටත් පොලිස් ආරක්ෂාව යටතේ මාලඹේ පිහිටි පෞද්ගලික රෝහලක වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

අවිධිමත් ලෙස සාදන ලද රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අගාමික හා විගාමික පනතේ 45 වන වගන්තිය අනුව ඇය මාළඹේ පිහිටි පෞද්ගලික රෝහලකදී ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත්තා. ඒ අනුව අද දිනයේදී අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඇය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් නැවත පැමිණි හිටපු අමාත්‍ය විමල් වීරවංශගෙන් මාධ්‍යවේදීන් මෙම සිද්ධිය සම්බන්ධයෙන්ද ප්‍රශ්න කළා. ඔහු එහිදී කියා සිටියේ තමාගේ බිරිඳට ව්‍යාජ ගමන් බලපත්‍රයක් පවතින චෝදනාව අමූලික බොරුවක් බවයි.