පැකර් මෙරට දේශපාලනයට සම්බන්ධ වුණා. - අගමැති

Tuesday, 24 February 2015 - 12:56

%E0%B6%B4%E0%B7%90%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%8F.+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92
පසුගිය රජය මගින් විශාල බදු සහන ලබාදුන්  ඕස්ට්‍රේලියානු කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් මෙරට දේශපාලන යාන්ත්‍රණයට අනවශ්‍ය ලෙස සම්බන්ධ වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ද ඔස්ට්‍රේලියන් පුවත්පත සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇති අතර එම පුවතට  ඕස්ට්‍රේලියාවේ අනෙකුත් මාධ්‍ය මගින් ද අද (24) ප්‍රසිද්ධියක් ලබාදී තිබුණා. ජේම්ස් පැකර්ට ලබාදුන් බදු සහන නව රජය මගින් ඉවත් කිරීම සාධාරණීයකරණය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ පැකර්ගේ කැසිනෝ ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට කිසිදු යහපතක් අත් නොවන බවයි.
 
ජේම්ස් පැකර්ගේ මෙරට කැසිනෝ ව්‍යාපෘති ඉමහත් මතභේදයට ලක්වූ අතර ඒ සමඟ බැදුණු දූෂණ රැසක් ඇති බවට චෝදනා එල්ල වුණා. එහිදී පසුගිය රජය පැකර්ට ලබාදුන් බදු සහන පිළිබදව අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ කැසිනෝ ආදායමට බදු ඉවත් කළ ලොව ප්‍රථම රට ශ්‍රී ලංකාව බවයි. ඊට ආගමික නායකයන්ගෙන් ද විරෝධය පළ වූ බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියා. කොතෙක් විරෝධතා පැවතුණ ද තම කැසිනෝ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට ජේම්ස් පැකර් තීරණය කර තිබුණේ පසුගිය රජය සමඟ පැවති දේශපාලන සබඳතාව නිසා බවයි අගමැතිවරයා සදහන් කළේ. මහින්ද රාජපක්ෂ රජය සදාකාලිකව පවතිනු ඇතැයි සිතා ජේම්ස් පැකර් එම පියවර ගන්නට ඇතැයි විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් කියා සිටියා.