කුමාර් රජයෙන් සහතික ඉල්ලයි

Tuesday, 24 February 2015 - 18:05

%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
තමාට හිමි  ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය අත්හැරීමට නම් ශ්‍රී ලංකා රජයෙන් ලිඛිත සහතිකයක් අවශ්‍ය බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් පවසනවා. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු ප්‍රකාශ කරන්නේ පුරවැසිභාවය ලබාදීම හෝ ලබාදෙන බවට නිල සහතිකයක් නිකුත් කිරීමේ බලය ලංකාවේ පුරවැසි පනත අනුව හිමිව ඇත්තේ අදාළ විෂය භාර අමාත්‍යවරයාට බවයි. ඒ අනුව වර්තමානයේ් අදාළ විෂය භාර අමාත්‍යවරයා වන මහජන සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංගට ඊට අදාළ අයදුම්පත යොමුකර ඇතත් ඒ සඳහා කිසිදු යහපත් ප්‍රතිචාරයක් මෙතෙක් ලැබී නොමැති බව කුමාර් ගුණරත්නම් සඳහන් කරනවා.

ශ්‍රී ලංකාවේ දේශපාලන කටයුතුවල නිරතවීම සඳහා  ඕස්ට්‍රේලියානු පුරවැසිභාවයෙන් ඉවත් වී ලංකාවේ පුරවැසිභාවය පමණක් ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින තමන්ට ඊට ඉඩ ලබා නොදෙන්නේ කුමන හේතූන් මතද යන්න ප්‍රශ්නයක් බවයි ඔහු නිකුත් කර තිබූ මාධ්‍ය නිවේදනයේ සඳහන් වන්නේ. එහි වැඩිදුරටත් දක්වා තිබුණේ මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කළ වත්මන් ආණ්ඩුවේ සමීප හිතවතෙකු වන අර්ජුන මහේන්ද්‍රන්ට එක් දිනක් ඇතුළත පුරවැසිභාවය ප්‍රදානය කිරීම පිළිබඳව පුවත් පළ වී තිබූ බවයි.

කෙසේ වෙතත් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම සඳහා දේශපාලනය සිදුකරන්නන් හට ඒ සඳහා ඇති අයිතිය උදුරා ගැනීම සඳහා ඉඩ දී නිහඬව බලා සිටීමට ජනතාව සූදානම් නොමැති බව  තම විශ්වාසය වන බවයි කුමාර් ගුණරත්නම් අවධාරණය කරන්නේ.

මේ අතර, කුමාර් ගුණරත්නම්ට මෙරට ක්‍රියාකාරී දේශපාලනයේ යෙදීමේ අයිතිය තහවුරු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ සිවිල් සංවිධාන කිහිපයක් කොළඹ - කොටුව දුම්රියපල ඉදිරිපිටදී අද (24) පස්වරුවේ උද්ඝෝෂණයක්  පවත්වනු ලැබුවා.