ජාතික ආණ්ඩු එපා.අප්‍රේල් 23 පාර්ලිමේන්තුව විසුරුවන්න

Tuesday, 24 February 2015 - 18:10

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A+23+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
නව රජයේ දින සීයේ වැඩසටහන අවසන් වීමට පෙර ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශවවලින් යෝජනා ඉදිරිපත්වීමත් සමග ඒ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මත ඉදිරිපත්වෙමින් පවතිනවා.

එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරන්නේ ජනාධිපතිවරණයේදී ජනතාවට දුන් පොරොන්දු අනුව අප්‍රේල් 23 වනදා වනවිට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවයි. අනතුරුව මහ මැතිවරණයක් පවත්වා එක් එක් පක්ෂවලින් තේරී පත්වන මන්ත්‍රිවරුන් අනුව බහුතර කැමැත්තට නව පාර්ලිමේන්තුවක් බිහිකර ගත යුතු බවද ඔවුන් කියා සිටිනවා.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ අප්‍රේල් 23 වැනිදා පාර්ලිමේන්තුව නියත වශයෙන්ම විසුරුවා හැර මහ මැතිවරණය පැවැත්විය යුතු බවයි. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ජාතික ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බවද ඔහු ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා ද කියා සිටියේ මහ මැතිවරණය පවත්වා අනතුරුව ජාතික ආණ්ඩුවක් පිළිබඳව සිතා බැලිය යුතු බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එළඹෙන මහ මැතිවරණයේදී සන්ධානයේ අගමැති අපේක්ෂකයා බවට පත්කළ යුතු බව කියන පක්ෂවල මතයද අප විමසුවා.

ජාතික නිදහස් පෙරමුනේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් කියා සිටියේ ඇමති ධුර නොමැතිව සිටිය නොහැකි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින ඇතමුන්ට කඩිනම් ජාතික ආණ්ඩුවක වුවමනාව මතුවී ඇති බවයි. වර්තමානයේ හෝ මහ මැතිවරණයෙන් පසුව හෝ ජාතික ආණ්ඩුවක් බිහිවනවාට තමන් විරුද්ධ බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර අවධාරණය කළා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් කියා සිටියේ ආණ්ඩුව සහ විපක්ෂය ජාතික ආණ්ඩුවකින් බලාපොරොත්තුවන්නේ කුමක්ද යන්න පළමුව රටට හෙළි කළ යුතු බවයි.

මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්තගෙන්ද කරුණු විමසුවා. ඔහු කියා සිටියේ තවමත් නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ අවසන් තීරණයකට පැමිණ නොමැති බවයි. කෙසේ වෙතත් අප්‍රේල් 23 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීම කල් දමා, ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ සූදානමක් පවතීද යන්න පිළිබඳව අප ඔහුගෙන් වැඩිදුරටත් කරුණු විමසා සිටියා.  ඔහු කියා සිටියේ ව්‍යවස්ථා සංශෝධන සඳහා ගතවන කාලය පිළිබඳව ගැටළු පවතින බවයි. ඒ අනුව මහ මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන්ද යළි සාකච්ඡා කළ යුතු බවට ඔහු කරුණු ප්‍රකාශ කළා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.