සූරියවැවේ පොලිසියේ 6යි රියදුරයි හිරේට

Tuesday, 24 February 2015 - 18:15

%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+6%E0%B6%BA%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%9A%E0%B6%A7
පොලිස් පහර දීමකින් සැකකරුවෙකු මියයෑම සම්බන්ධයෙන් එල්ලවූ චෝදනා මත අත්අඩංගුවට ගත් සූරියවැව පොලිීසියේ නිලධාරීන් 6 දෙනා ලබන මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ, හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාළ පොලිස් නිලධාරීන් 6 දෙනා, අද උදෑසන විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. පසුගිය 19 වැනිදා සූරියවැව - විහාරගල වැව අසලදී, මියගිය 35 හැවිරිදි පුද්ගලයා පොලීසිය තමන් භාරයට ගෙන තිබුණේ නීතිවිරෝධී මත්පැන් පෙරීමේ චෝදනාවකටයි. එම අවස්ථාවේදී ඔහුට මෙම පොලිස් නිලධාරීන් පහරදුන් බව ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු ප්‍රකාශ කළා.

අත්අඩංගුවට ගත් එම පුද්ගලයා පොලිස් සිර මැදිරිය තුළ රඳවා තබා ඇති අතර ඔහු රෝගාතුරවීම හේතුවෙන් පසුදින සූරියවැව රෝහලට ඇතුළත් කර තිබුණා. ඉන් අනතුරුව හම්බන්තොට රෝහල වෙත මාරුකර යැවූ ඔහු ඊයේ ජීවිතක්ෂයට පත්වුණු බව සඳහන්. පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී තිබුණේ මෙය පහරදීමකින් සිදුවූ මරණයක් ලෙසයි. ඒ අනුවයි අදාළ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනුනේ. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කරුණු පැහැදිළි කළා.

මේ අතර මෙම පහරදීම සම්බන්ධයෙන් සාක්ෂි ලබාදුන් පුද්ගලයෙකුද අද අලූයම සූරියවැව - නබඩගස්වැව ප්‍රදේශයේ සිදුවූ ත්‍රිරෝද රථ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබුණා. එම ත්‍රිරෝද රථය අනතුරට ලක්වුණේ අම්බලන්තොට පොලීිසියේ කොස්තාපල්වරයෙකුු පැදවූ වෑන් රථයක ගැටීමෙන්.
වෑන් රථය පැදවූ පොලිස් කොස්තාපල්වරයාද අද හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර ඔහු ලබන මස 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.











ඡායාරූප - අජිත් පුෂ්පකුමාර