ලයිලා සහ සුරුක්කු දැල් තහනම්

Wednesday, 25 February 2015 - 7:55

%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
ලයිලා සහ සුරුක්කු දැල් යොදාගෙන මසුන් මැරීමට බලපත්‍ර නිකුත් කිරීම වහාම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ස්වදේශ කටයුතු හා ධීවර අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා ඊයේ (24) එම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි නිලධාරීන්ට මෙම උපදෙස් ලබාදීම සිදුකර ඇත්තේ. එසේම අදාළ ක්‍රමවලට මසුන් මැරීම සඳහා අවසර ලබාදීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත්කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මේ අතර, ඉන්දීය මුහුදු සීමාව උල්ලංඝනය කළ ශ්‍රී ලාංකික ධීවරයන් 19 දෙනෙකු ඊයේ ඉන්දීය බලධාරීන් අත්අඩංගුවට ගත්තා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ධීවර යාත්‍රා 4 ක්ද ඔවුන්ගේ අත්අඩංගුවට පත්ව ඇති බවයි. මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට සමගාමීව දෙරට භාරයේ සිටි සියලූම ඉන්දු - ශ්‍රී ලංකා ධීවරයින් නිදහස් කිරීමෙන් පසුවයි.

කෙසේ වෙතත්, ඉන්දීය බලධාරීන් ශ්‍රී ලාංකික ධීවරයන් ජාත්‍යන්තර මුහුදු සීමාවේදීද අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තම විරෝධය පළ කරන බවයි පුත්තලම දිස්ත්‍රික් ධීවර සහයෝගීතාවයේ සම්බන්ධීකාරක ලොයෙල් පීරිස් කියා සිටියේ. ඔහු සඳහන් කළේ ශ්‍රී ලාංකික මුහුදු සීමාව උල්ලංඝනය කරන ඉන්දීය ධීවරයන්ද අත්අඩංගුවට ගැනීමට ලක් රජය කටයුතු කළ යුතු බවයි.

මේ අතර මාර්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දු - ශ්‍රී ලංකා ධීවර සාකච්ඡා කල් දමා ඇති බවද ඊයේ වාර්තාවුණා. ධීවර සාකච්ඡා කල් දමන ලෙස ලක් රජය ඉන්දියාවෙන් ඉල්ලීමක් ද කර තිබුණා.