ශෂී වීරවංශ මාර්තු 4 දක්වා රිමාන්ඞ්

Wednesday, 25 February 2015 - 18:27

%E0%B7%81%E0%B7%82%E0%B7%93+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B7%80%E0%B6%82%E0%B7%81+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+4+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A
හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ මාර්තු මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අද නියෝග කළා. ඒ, ව්‍යාජ තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර අවිධිමත් ලෙස ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව පවතින චෝදනාවට අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේදියි.

වැලිකඩ බන්ධනාගාර රෝහලේ රදවා සිටි ඇය සාමාන්‍ය රැදවියන් සමග බන්ධනාගාර බස් රථයකින් අද අධිකරණය වෙත රැගෙන ආ බව එහි සිටි අප වාර්තාකරු ප්‍රකාශ කළා. නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ අද පෙරවරුවේ කැදවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ එය නැවත පස්වරු 1 දක්වා කල් දැමීමටයි. ඒ අනුව යළි නඩු විභාගය ආරම්භ කළ මහේ්ස්ත්‍රාත්වරයා මීට අදාළ කරුණු සළකා බලා ශෂී වීරවංශ මාර්තු 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කරනු ලැබුවා. එසේම ඇයට ව්‍යාජ හැඳුනුම්පත් සහ ගමන් බලපත්‍ර ලබාගැනීමට ආධාර උපකාර කළ සියලූදෙනා තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා ලෙසයි මෙහිදී නියෝග කෙරුණේ.

ශෂී වීරවංශ වෙනුවෙන් ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ ප්‍රමුඛ නීතීඥ මණ්ඩලයක් මෙහිදී පෙනී සිටියා. ඇයගේ නීතීඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායිකාවට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා අසත්‍ය බවයි. එම නිසා ඕනෑම ඇප කොන්දේසියක් යටතේ ඇයට ඇප ලබාදෙන ලෙස නීතීඥවරුන් අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී ලෙස පුද්ගලයන් විදේශ ගතවීමේ අංශය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ඇයට ඇප ලබාදුනහොත් එය ඉදිරි පරීක්ෂණවලට බාධාවක් වන බවයි. ඒ අනුව මාර්තු 11 වැනිදා තෙක් ශෂී වීරවංශ යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා. හැඳුනුම්පත් දෙකක් යොදාගෙන ඇය මූල්‍ය වංචා සිදුකළ බවටද තොරතුරු ඇති බැවින් ශෂී වීරවංශට අයත් බැංකු ගිණුම් 19 ක් පරීක්ෂා කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී ප්‍රකාශ කළා.

ශෂී වීරවංශ ගමන් බලපත්‍රය ලබාගැනීමට උපයෝගී කරගත් හැඳුනුම්පත සම්බන්ධයෙන් වන මුල් ලිපි ගොනු ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මෙහිදී පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට නියෝග කෙරුණේ.