ශෂී වීරවංශ බැලීමට හිටපු ජනපති මහින්ද, ජාතික රෝහලට

Friday, 27 February 2015 - 19:21

%E0%B7%81%E0%B7%82%E0%B7%93+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B7%80%E0%B6%82%E0%B7%81+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%2C+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7
ව්‍යාජ තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර අවිධිමත් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ අද (27) දැඩි ඇප කොන්දේසි මත මුදා හැරුණා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඇය අද ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී විනිසුරු ගිහාන් පිලපිටිය අද නියෝග කළේ ශෂී වීරවංශ රුපියල් 15,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි.

ඊට අමතරව, සෑම මසකම අවසන් සිකුරාදා පෙරවරු 9 ත් 12 ත් අතර අධිකරණ රෙජිස්ටාර්වරයා හමුවේ පෙනී සිටිය යුතු බවට ඇයට පැනවූ එක් ඇප කොන්දේසියක්. කොන්දේසි කඩකරමින් සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල කළහොත් නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන බව ද මහේස්ත්‍රාත්වරයා මෙහිදී දැනුම් දුන්නා.

එමෙන්ම, අධිකරණ භූමියට පැමිණ සිටි හිටපු අමාත්‍ය විමල් වීරවංශට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අවවාද කරමින් කියා සිටියේ අධිකරණ භූමිය ඉදිරිපිට දේශපාලන රැස්වීම් පවත්වන ආකාරයට කතා කිරීමෙන් වළකින ලෙසයි.

අවිධිමත් ලෙස සකස් කරන ලද රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීමේ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශෂී වීරවංශ අත්අඩංගුවට ගත්තේ පසුගිය 22 වැනිදායි.

අධිකරණයේ අවසරයක් මත මෙම නඩුවට පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක සැකකාර ශෂී වීරවංශගේ දරුවන් මෙම සිද්ධිය හේතුවෙන් පාසල් ගොස් නොමැති බවත්, මානුෂික කරුණු සලකා ඇයට ඇප ලබාදෙන ලෙසත් මෙහිදී ඉල්ලා සිටියා. හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක පසුගිය රජය ගෙන ආ දෝෂාභියෝගය නිසා ධුරයෙන් පහ කළ පසු ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එකමුතුවේ සාමාජිකයෙකු ලෙස ද නීතිඥ ගුණරත්න වන්නිනායක කටයුතු කළා. පසුගිය ජනාධිපතිවරණයේදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටියදී ඊට ප්‍රතිවිරුද්ධ මතයක සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක පෙනී සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණය වෙනුවෙන්. එලෙස අමාත්‍ය විමල් වීරවංශගේ දේශපාලන මතවලට ප්‍රතිවිරුද්ධ මත දරණ, ඔහු අද මෙම නඩුවට මැදිහත්වූයේ ඇයි දැයි හිරු ප්‍රවෘත්ති අංශය කරුණු විමසා සිටියා. නීතිඥ ගුණරත්න වන්නිනායක දැක්වූ ප්‍රතිචාරයයි.

‘‘මගේ පුතා සහ වීරවංශ මන්ත්‍රීතුමාගේ පුතා ආනන්දෙ එකම පන්තියේ ඉගෙන ගන්නේ. ජනාධිපතිවරණයෙන් පස්සෙ එක දවසක්වත් විමල්ගෙ පුතා පාසල් ඇවිත් නැහැ. මගේ පුතා හැමදාම මගෙන් අහනවා එයා කෝ කියලා. ඒක මානුෂිකයි. ඒ හින්දා මම බාහිර පාර්ශවයක් ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළේ.’’

ඇප ලැබීමෙන් අනතුරුව ශෂී වීරවංශ පවතින අසනීප තත්ත්වය මත අද පස්වරුවේ යළිත් වරක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී තිබෙනවා. ඇයගේ සුව දුක් සොයා බැලීමට අද පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද ජාතික රෝහලට පැමිණියා. එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ අධිකරණය සාධාරණ තීන්දුවක් ලබාදී ඇති බවයි. දේශපාලන පළි ගැනීම් නැවැත්විය යුතු බව ද ඔහු සඳහන් කළා.