ඉන්දු - ලංකා සබඳතා ශක්තිමත් වුණා

Saturday, 07 March 2015 - 19:08

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B6%B6%E0%B6%B3%E0%B6%AD%E0%B7%8F+%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%8F
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයට අදාළ කටයුතු සඳහා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් අද (07) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විදේශ අමාත්‍ය මංගල සමරවීර, දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිතයන් හමුවුණා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර, සබඳතා දෙරටේ රාජ්‍ය නායකයන්ගේ චාරිකාවලින් තවත් ශක්තිමත් වන බව ඇය ප්‍රකාශ කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවේදීයි. එහිදී විදේශ අමාත්‍යවරිය කියා සිටියේ තමාට ශ්‍රී ලංකාව සුවිශේෂී රටක් වන බවයි. මිත්‍රත්වය හැරුණු විට මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ තම පාර්ලිමේන්තු ආසනය පිහිටා තිබෙන සාංචි ශුද්ධ භූමිය ශ්‍රී ලංකාවට බුදු දහම ගෙන ආ මිහිඳු හිමියන්ගේ ඡන්ම භූමිය වීම ද ඊට හේතු වී ඇති බවයි ඉන්දීය විදේශ ඇමතිනිය ප්‍රකාශ කළේ.

ඇය විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර හමුවී සාකච්ඡා කළේ අද පෙරවරුවේයි. ඒ පිළිබඳව වාර්තාවක් ගෙනහැර දක්වමින් හින්දු පුවත්පත සඳහන් කළේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර, යළි මගී ප්‍රවාහන නෞකා සේවා ආරම්භ කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුවූ බවයි.

විදේශ අමාත්‍ය මංගල සමරවීර දින 100 වැඩපිළිවෙල සම්බන්ධයෙන් සහ රටේ සංහිඳියාව වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් නව රජය ගෙන ඇති පියවර ඉන්දීය විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ්ට පැහැදිලි කර තිබෙනවා. අද (07) පස්වරුවේ ඉන්දීය විදේශ අමාත්‍යවරිය දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත පිරිසක් සමඟ සාකච්ඡා කළා. දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායමක් ඊට එක්ව සිටියා.

සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දක්වමින් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් කියා සිටියේ ධීවර ප්‍රශ්නය කඩිනමින් විසඳා ගැනීමේ වැදගත්කම ඉන්දීය විදේශ අමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන් බවයි.

මේ අතර, ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා අඛන්ඩව සහය දැක්වීමට ජපානය සූදානම් බව දිවයිනට පැමිණි එරට විදේශ අමාත්‍ය මිනෝරු කියුචි ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාව ජපානයට සුවිශේෂී මිතුරෙකු වන බවයි. ජපාන විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද උදෑසන ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකදීයි.

ජපාන විදේශ අමාත්‍ය මිනෝරු කියුචි ජනමාධ්‍ය සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක ද අද (07)  මුණ ගැසුණා. මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් මෙන්ම දෙරට අතර සුහදතාවය වර්ධනය කිරීම සඳහා අවශ්‍ය කරුණු රැසක් පිළිබඳව එහිදී ඔවුන් සාකච්ඡා කර තිබෙනවා.