කාන්තා හිංසන පිටුදැකීමට කාර්ය බලකායක්

Sunday, 08 March 2015 - 19:17

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B7%84%E0%B7%92%E0%B6%82%E0%B7%83%E0%B6%B1+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට එරෙහි හිංසනය පිටුදැකීම සඳහා වන කොමිෂන් සභා වාර්තාවේ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා කාර්ය බලකායක් පත් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ බව අනාවරණය කළේ අනුරාධපුරයේ අද (08) පැවති ජාතික කාන්තා දින උත්සවයට එක්වෙමින්.

එහි සභාපතිවරිය ලෙස මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර පත් කර ඇති අතර, විධායක අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරන්නේ ආචාර්ය සෙල්වි තිරිචෙල්වම්. මෙම කොමිෂන් සභාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ධුරය දරන අවධියේ ඔහු විසින් ස්ථාපිත කරන ලද්දක්. එහි වාර්තාව පසුගිය සිකුරාදා කාන්තා කටයුතු අමාත්‍යවරිය වන චන්ද්‍රානි බණ්ඩාර පාර්ලිමේන්තුවේදී සභාගත කළා.

අද පැවති කාන්තා දින ජාතික උත්සවයකදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ වසරක් තුළ මෙම කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම අදාළ කාර්ය බලකායේ වගකීම බවයි.

ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන එනු ලබන 19 වන සංශෝධනයෙන් ස්ථාපනය කෙරෙන රාජ්‍ය සභාව සඳහා  කාන්තා නියෝජනයක් ලබාදෙන බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. එසේම ඔහු තවදුරටත් සදහන් කළේ පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය සියයට 25කින් ඉහළ නැංවීමට කටයුතු කරන බවයි.