Update: හලාවත අධිකරණ බිමේ කෑගැසූ හිමි නම

Tuesday, 10 March 2015 - 14:33

Update%3A+%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9A%E0%B7%91%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%96+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%B1%E0%B6%B8
ජීව අත්බෝම්බයක් ළඟ තබාගැනීමේ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිමිනමක් අද දහවල් හලාවත මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී කළහකාරී ලෙස හැසිරුණා. පොළොන්නරුව - සිංහාරේ සුමනරතන නැමති මෙම හිමිනම අධිකරණ භූමියට බන්ධනාගාර බස් රථයෙන් අද රැගෙන ආවේ මීගමුව බන්ධනාගාරයේ සිටයි. ඉන් බැසයන මොහොතේ උන්වහන්සේ කළහකාරී ලෙස හැසිරෙමින් ප්‍රකාශ කළේ තමන් වසර 4 කට ආසන්න කාලයක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තැබීම අසාධාරණ බවයි.   

2012 වසරේදී හලාවත - කෝක්කවිල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කළ මෙම හිමිනම එම විහාරස්ථානයේ සිට පසුව කරුවලගස්වැව ප්‍රදේශයේ විහාරස්ථානයකට පැමිණ තිබෙනවා. එහිදී උන්වහන්සේ කෝක්කවිල විහාරස්ථානයට අයත් ගෘහභාණ්ඩ රැසක් කරුවලගස්වැව විහාරස්ථානයට රැගෙන විත් තිබෙන අතර ඒ සම්බන්ධයෙන් කෝක්කවිල ප්‍රදේශවාසීන් පිරිසක් හලාවත පොලීසියට පැමිණිල්ලක් කර තිබුණා. පසුව මේ සම්බන්ධයෙන් හලාවත පොලීසිය සුමනරතන හිමියන් අත්අඩංගුවට ගත් අතර 2012 ජනවාරි මස 4 වැනි දින හලාවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා. එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් සැකකාර භික්ෂුව ඇප මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා. එදින ඇප ලබා පිටතට පැමිණි උන්වහන්සේ අධිකරණ භූමියේදී ජීව අත් බෝම්බයක් රැගෙන කෑගසමින් ප්‍රකාශ කර ඇත්තේ තමන් මෙම සොරකමට හසුකිරීම කුමන්ත්‍රණයක් බවයි. එහිදී බන්ධනාගාර නිලධාරීන් විසින් උන්වහන්සේ යළිත් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පීඩාකාරී ආයුධ ආඥාපනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මේ අතර  2012 වසරේ සිට මේ වනතෙක් නඩුවාර කිහිපයක් කැඳවූවද සුමනරතන හිමියන් මහාධිකරණයට ඇප අයදුම්පතක් යොමුකර නැහැ. උන්වහන්සේ වෙනුවෙන් අදාළ නඩු වාරවලදී නීතීඥවරයෙකුද පෙනී සිට නොමැති බවයි හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණේ.  එම නිසා වසර  තුනක් පුරා උන්වහන්සේ දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාර ගතකිරීමටයි හලාවත මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ. සුමනරතන හිමියන් අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ හලාවත මහේස්ත්‍රාත් ශිවන්ත මංචනායක යළි උන්වහන්සේ  අප්‍රේල් මස 21 වැනි දින දක්වා  රක්ෂිත බන්ධනාගාර ගත කළා.


Update: Tuesday, 10 March 2015 - 07:42 PM
...........................................................

හිමි නමක් උසාවියක් ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරෙයි


විභාග වීමට නියමිත නඩුවක් සදහා හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට බන්ධනාගාර බස්රථයකින් රැගෙන පැමිණි බෞද්ධ ස්වාමීන් වහන්සේ නමක් හලාවත මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කලහකාරී ලෙස හැසිරිනි.

බන්ධනාගාර නිලධාරීන් හා පොලිසිය මැදිහත් වී ඒ ස්වාමීන් වහන්සේ  අධිකරණ පරිශ්‍රයට රැගෙන ගිය අතර ඒ අතර තුර මෙම ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කලේ ඔහු වසර 03 කට  ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත වී සිටි බවයි.

මෙලෙස කලහකාරී ලෙස හැසිරුනේ හලාවත බෝධිරුක්ඛාරාමයේ වැඩවිසූ පිංපාරේ සුමණරතන නමැති ස්වාමීන් වහන්සේ  නමකි.









ඡායාරූප - සුමුදු ජයමාන්න