බැසිල්ට නියෝග පිට නියෝග

Thursday, 26 March 2015 - 16:33

%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C
දිවිනැගුම දෙපාර්තමේන්තුවේ සිදුවී ඇතැයි කියන  මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (25) නියෝග කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ ඒ අනුව, අධිකරණයෙන් ලබා ගත් නියෝගය භාරදීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරින් කණ්ඩායමක් හිටපු අමාත්‍යවරයාගේ හම්බන්තොට - මැදමුලන ප්‍රදේශයේ ලිපිනයට අයත් නිවස වෙත අද (26) පිටත්ව ගිය බවයි. එහිදී එම නියෝගය භාරදීමට එම නිවසේ කිසිවෙකු නොසිටි අතර පසුව එය නිවසේ දොරෙහි ඇලවීමට නිලධාරින් විසින් උත්සාහ කර තිබෙනවා. කෙසේ වුවත්, ඊට විරෝධයක් එල්ල වුණේ එම නිවස වෙනත් පාර්ශවයකට අයත් එකක් බවට ප්‍රදේශවාසීන් ප්‍රකාශ කිරීමත් සමඟයි. ඒ අනුව එම කරුණ අධිකරණයට දැනුම්දීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සියලූ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබෙනවා. ඒ, ඇවන්ට්ගාඩ් සමාගමට අයත් ගාල්ල වරායේ පවතින පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුරටත් කරුණු වාර්තා කළ අවස්ථාවේදියි.

මේ අතර, ඇවන්ට්ගාඩ් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ නෞකාවේ රක්ෂණ කාලසීමාව මේ මස 31 වැනිදායින් අවසන් වන බවයි. මෙම නෞකාව අබලන් තත්ත්වයේ පවතින බැවින් තෙල් කාන්දුවක් සිදුවුවහොත් ගාලූ වරායට ඉන් හානියක් සිදුවිය හැකි බවද එම නීතීඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියා. එම නිසා මෙම නෞකාවේ ඇති ආයුධ වෙනත් නෞකාවකට පැටවීමට අවසර ලබාදෙන ලෙසයි නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ. නෞකාවේ සේවයේ නියුතු කාර්ය මණ්ඩලයේ 11 දෙනා මේ වනවිට වෙහෙසට පත්ව ඇති බැවින් ඔවුන් වෙනුවට වෙනත් කාර්ය මණ්ඩලයක් පත් කිරීමටද අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා. නෞකාවේ ඇති ආයුධ වෙනත් නෞකාවකට පැටවීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය නෞකාවේ කාර්ය මණ්ඩලය වෙනුවට වෙනත් කාර්ය මණ්ඩලයක් ආදේශ කිරීමට අවසර ලබාදුන්නා. මීට අදාළ වැඩිදුර විභාගය මැයි මස 21 වැනිදා පැවැත්වීමට නියමිතයි.