Update: බැසිල් ආපු ගමන් අත්අඩංගුවට

Monday, 30 March 2015 - 16:40

Update%3A+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%86%E0%B6%B4%E0%B7%94+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
රුපියල් කෝටි ගණනක් මූල්‍ය අක්‍රමිකතා සිදුකළැයි සැකපිට හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල අද (30) නියෝග කළා. හිටපු අමාත්‍යවරයා මෙරටට පැමිණි පසු අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය කලින් කළ නියෝගය බල රහිත කර අත්අඩංගුවට ගැනීමකින් තොරව නීතිඥයෙකු මාර්ගයෙන් පෙනී සිටීමට අවසර ලබාදෙන ලෙස ඔහුගේ නීතිඥවරයෙකු අද මෝසමක් මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලීමක් කළා. මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ පෙර දිනකදී නිකුත් කළ අධිකරණ නියෝගය මත කටයුතු කරමින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

ජ්‍යෙෂ්ඨ නීතිඥ යූ.ආර්. ද සිල්වා ඇතුළු නීතිඥවරුන් 20 දෙනෙකු පමණ බැසිල් රාජපක්ෂ වෙනුවෙන් අද පෙනී සිටි බවයි එම ස්ථානයේ සිටි හිරු වාර්තාකරු සදහන් කළේ. දිවිනැගුම දෙපාර්තමේන්තුවේ පාරිතෝෂිත මුදල් අක්‍රමිකතා, පසුගිය ජනාධිපතිවරණය සඳහා දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මුදල් වැය කිරීම, සමුළුවක් සදහා රුපියල් මිලියන 70ක් වැය කිරීම ඇතුළු මූල්‍ය අක්‍රමිකතා ගණනාවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මෙම පැමිණිල්ල ගොනු කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පසුගිය දා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ කටඋත්තරයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අධිකරණ සහාය පතන බවයි. ඒ අනුව පසුගිය 27 වන දා කඩුවෙල මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙසයි.

මේ අතර, බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තමා ළඟදීම ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.  වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා තමන් ඇමරිකාවට ගිය බව ද එම නිවේදනයේ දැක්වුණා.

Update: Monday, 30 March 2015 - 07:20 PM
................................................................

දිවිනැගුම දෙපාර්තමේන්තුවේ සිදුවී ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලංකාවට පැමිණි වහාම අත්අඩංගුවට ගන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.