බැසිල් 20 එනවා

Thursday, 02 April 2015 - 18:54

%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+20+%E0%B6%91%E0%B6%B1%E0%B7%80%E0%B7%8F
රුපියල් කෝටි ගණනක් මූල්‍ය අක්‍රමිකතා සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මේ මස 20 වැනිදා දිවයිනට පැමිණීමෙන් පසු දින 02 ක් ඇතුළත මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත ප්‍රකාශයක් ලබාදීමට නියමිත බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පවසනවා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව ගොනුකර ඇති මූල්‍ය චෝදනා නඩුව අද දිනයේ කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල ඉදිරියේ යළි කැඳවනු ලැබුවා.

දිවිනැගුම දෙපාර්තමේන්තුවේ පාරිතෝෂිත මුදල් අක්‍රමිකතා, පසුගිය ජනාධිපතිවරණය සඳහා දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මුදල් වැය කිරීම, සමුළුවක් සදහා රුපියල් මිලියන 70ක් වැය කිරීම ඇතුළු මූල්‍ය අක්‍රමිකතා ගණනාවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනුකළා. පසුගිය මාර්තු 31 වැනිදා මෙම නඩුව කැඳවූ කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල ආගමන විගමන දෙපාර්තමේන්තුවට නියෝග කළේ මූල්‍ය අක්‍රමිකතා සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවත ශ්‍රී ලංකාව පැමිණි පසු ඔහුට ගුවන් තොටුපලේදීම මූල්‍ය අපරාධ කොට්ඨාසයට ප්‍රකාශයක් ලබාදිය යුතු බවට වන අධිකරණ නියෝගය දැනුම්දෙන ලෙසයි.

අද (02) දිනයේ මෙම නඩුව යළි කැඳවූ අවස්ථාවේදී කඩුවෙල මහේස්ත්‍රාත්වරයා මින් ඉහතදී ලබාදුන් එම නියෝගය යළි තහවුරු කළා. එමෙන්ම විත්ති පාර්ශවයට අවශ්‍ය නම් නියෝගයේ පිටපතක් ලබාගත හැකි බවද මහේස්ත්‍රාත්වරයා දැනුම් දී තිබෙනවා.

මීට පෙර නිවේදනයක් නිකුත් කරමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සඳහන් කළේ තමා ළඟඳීම ශ්‍රී ලංකාවට පැමිණෙන අතර, වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇමරිකාවට ගිය බවයි.