19 ගැන නිදහස් පක්ෂයේ අවසන් තීරණය ලබන සතියේ

Friday, 03 April 2015 - 18:51

19+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A
19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් තීරණය  ලබන සතියේ ප්‍රකාශ කරන බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ මෙතෙක් පක්ෂය ඒ පිළිබදව අවසන් තීරණයකට පැමිණ නොමැති බවයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය සහ මැතිවරණ ක්‍රම සංශෝධනය එක්ව සම්මත කර ගත යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මීට පෙර ප්‍රකාශ කළා. එවන් තත්ත්වයක් තුළදීයි 19 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමන් තීරණයක් ගෙන නොමැති බව ප්‍රකාශ කළත් කැබිනට් ප්‍රකාශක, රාජිත සේනාරත්න අමාත්‍යවරයා ඊට සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රකාශයක් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සිදුකළා. ඔහු කියා සිටියේ 19 බලාත්මක වන්නේ මැතිවරණ ක්‍රම සංශෝධනයෙන් අනතුරුව යැයි සදහන් කරන වගන්තියක් සංශෝධනයක් ලෙස ඊට එක් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බවයි. එහෙත් එවැනි තීරණයක් ගෙන නොමැති බව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු සදහන් කළා.

නිදහස් පක්ෂය මෙවැනි මතයක සිටියත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගන්නා දින, වකවානු සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී මෙවැනි අදහසක් පළ කළා. ඔහු එහිදී කියා සිටියේ මෙය පක්ෂ නායකවරුන් ගත් තීරණයක් බවයි.

කෙසේ වෙතත්, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකර තිබූ පෙත්සම් 19 ක් අගවිනිසුරු කේ ශ්‍රීපවන් ඇතුලූ ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ලබන සඳුදා යළි සලකා බැලීමට නියමිතයි. ඉන් පෙත්සම් 9 කින් යෝජිත 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයකට නොයා යුතු බවටත්, එය පාර්ලිමේන්තු බහුතරයක් මගින් සම්මත කරගත යුතු බවටත් කරුණු ඉදිරිපත් කර තිබුණා. ඉතිරි පෙත්සම් 10 ගොනු කර තිබුණේ යෝජිත 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව පවසමින්.