අදින් පසු පාර්ලිමේන්තුව තීරණාත්මකයි

Tuesday, 07 April 2015 - 7:57

%E0%B6%85%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B6%BA%E0%B7%92
පාර්ලිමේන්තුවේ තීරණාත්මක සතියක් අදින් ඇරඹෙනවා. ඒ, විපක්ෂ නායක ධුරයට පත්වන්නේ කවුරුන්ද යන්න පිළිබඳ කථානායකවරයාගේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමගයි. පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් හිමි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු නව රජයේ අමාත්‍ය ධුර ලබා ගැනීමත් සමඟ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් ඇති වුණා.

නිදහස් සන්ධානය තුළ සිටින පක්ෂ කිහිපයක් මහජන එක්සත් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එම තනතුරට පත් කළ යුතු බවට කථානායකවරයාට දැනුම් දී තිබෙනවා. ඊට අමතරව දෙමළ ජාතික සන්ධානයට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ලබාදිය යුතු බවට තවත් මතයක් පළ වුණා.  

මේ අතර, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව කථානායකවරයා හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඊයේ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම් 19 සම්බන්ධයෙන් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් අවසන් කළා. 19 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව විවාදය මේ මස 9 සහ 10 යන දෙදින තුළ පවත්වන බවට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙනවා. 10 වන දා පස්වරුවේ මේ සම්බන්ධයෙන් ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති.

කෙසේ වෙතත්, කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ මෙම සංශෝධනයට සහාය නොලැබුණහොත් පාර්ලිමේන්තුවේ අවශ්‍යතාවය පිළිබදව ප්‍රශ්නයක් මතු වන බවයි.