Update: අස්ගිරි මහනාහිමියන්ගේ ශ්‍රී දේහය ආදාහනනය කෙරේ

Sunday, 12 April 2015 - 8:35

Update%3A+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%AF%E0%B7%9A%E0%B7%84%E0%B6%BA+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
අපවත් වී වදාළ අස්ගිරි මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියන්ගේ ශ්‍රී දේහය අද (12) පස්වරුවේ මහනුවර පොලිස් ක්‍රීඩාංගනයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ආදාහනය කෙරුණා. ඒ, ගිහි පැවිදි අතිවිශාල පිරිසකගේ සහභාගීත්වයෙන්.

ශ්‍රී දේහය රැගත් රථ පෙරහර පස්වරු 1 ට අස්ගිරි මහා විහාරයෙන් පිටත් වුණා. පස්වරු 2.30 පමණ වනවිට එය ආදාහන පූජෝත්සවය පැවති මහනුවර පොලිස් ක්‍රීඩාංගනයට ළඟා වූ අතර, මඟ දෙපස රැස්වූ ජනතාව උන්වහන්සේට තම අවසන් ගෞරවය පුදකළා. අස්ගිරි - මල්වතු අනුනායක හිමිවරුන් ප්‍රධාන කොටගත් මහසඟරුවන ශ්‍රී දේහය රැගත් පෙරහරට මෙන්ම පොලිස් ක්‍රීඩාංගනයටද එක්ව සිටියා. අනෙකුත් ආගමික පූජකවරුන් විශාල ප්‍රමාණයක්ද අස්ගිරි මහනාහිමියන්ට මෙහිදී අවසන් ගෞරවය පුදකළා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු මැති ඇමතිවරුන් විශාල පිරිසක් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද එම අවස්ථාවට එක්ව සිටීම විශේෂත්වයක්. විදෙස් තානාපතිවරුන් සහ තානාපති කාර්යාල නිලධාරීන් පිරිසක්ද අස්ගිරි මහනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයට එක්වුණා. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා සහ ආරක්ෂක අංශ නිලධාරීන් අතිවිශාල ප්‍රමාණයක්ද මහනාහිමියන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ සිටියා.

ආදාහන පූජෝත්සවයේ වැඩකටයුතු ආරම්භ කරමින් පිළිගැනීමේ කතාව සිදුකළේ බුද්ධශාසන සහ ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වසන්ත දිසානායකයි. අනතුරුව අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ගලගම අත්තදස්සී නාහිමිපාණන් වහන්සේ පිරිස පංච ශීලයේ පිහිටුවමින් ආගමික වතාවත් සිදුකරනු ලැබුවා. අස්ගිරි පාර්ශවය වෙනුවෙන් අනුශාසනාව සිදුකළේ එහි කාරක සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමියන්.

මල්වතු මහා විහාරය වෙනුවෙන් අනුශාසනාව සිදුකළේ මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක හිමියන් විසින්.

අස්ගිරි මහ නාහිමියන්ගේ අපවත්වීම පිළිබඳව අතිඋතුම් ෆ්‍රාන්සිස් පාප් වහන්සේ එවා තිබූ ශෝක පණිවුඩයද මෙහිදී ඉදිරිපත් කෙරුණා. එසේම ලොව රටවල් රැසකින් සහ ආගමික සංවිධාන විශාල ප්‍රමාණයකින් මහනාහිමියන් වෙනුවෙන් ශෝක පණිවුඩ එවා තිබුණා. පුණ්‍යානුමෝදනාව සිදුකිරීමෙන් පසු මහනාහිමියන්ගේ ශ්‍රී දේහය චිතකයේ තැන්පත් කළා. එයට ගිනි දැල්වුණේ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයකින් ඉහළ අහසේ සිට පුෂ්පෝපහාර පුද කරන අතරතුරයි.






















Update: Sunday, 12 April 2015 - 06:45
......................................................................................................................................

අපවත් වී වදාළ අස්ගිරි මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (12) පස්වරුවේ මහනුවර පොලිස් ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා. ඒ, ගිහි පැවිදි අතිවිශාල පිරිසකගේ සහභාගීත්වයෙන්. මීට ටික වේලාවකට පෙර උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කළ චිතකයට ගිනි දල්වනු ලැබුවා. ඒ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයකින් ගුවනේ සිට පුෂ්පෝපහාර දක්වන අතරතුරයි.

Update: Sunday, 12 April 2015 - 04:27
......................................................................................................................................

අස්ගිරි මහනාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ඇරඹේ

අපවත් වී වදාළ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන්ගේ ශ්‍රී දේහය මේ වනවිට ආදාහන පූජෝත්සවය සඳහා අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගනය වෙත රැගෙන විත් තිබෙනවා. අද (12) පස්වරු 1 ට පමණ අස්ගිරි මහා විහාරයෙන් ශ්‍රී දේහය රැගත් රිය පෙරහර පොලිස් ක්‍රීඩාංගනය වෙත ගමන් ආරම්භ කළා. පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව මහනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙනවා.

Update: Sunday, 12 April 2015 - 03:27
.....................................................................................................................................

අද  ජාතික ශෝක දිනයක්

අපවත් වී වදාළ අස්ගිරි මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (12) පස්වරුවේ මහනුවර පොලිස් ක්‍රීඩාංගනයේදී රාජ්‍ය ගරු බුහුමන්  සහිතව පැවැත්වෙනවා. ඒ වෙනුවෙන් අද දිනය රජය ජාතික ශෝක දිනයක් ලෙසද ප්‍රකාශයට පත් කළා. සිංගප්පූරුවේ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අස්ගිරි මහනාහිමියන් අපවත් වූයේ පසුගිය 08 වනදායී.

මේ අතර, අපවත් වී වදාළ අස්ගිරි මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරෙන අද මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි. දේහය රැගත් රථ පෙරහර පස්වරු 1 ට අස්ගිරි මහා විහාරයෙන් පිටත් වී පස්වරු 2.30 වනවිට ආදාහන පූජෝත්සවය පැවැත්වෙන පොලිස් ක්‍රීඩාංගනයට ළඟාවීමට නියමිතව තිබෙනවා. ඒ හේතුවෙන් අස්ගිරි මහා විහාරයේ සිට ගාමිණී දිසානායක මාවත, කන්දේ වීථිය, ඞී.එස්.සේනානායක වීථිය, දළඳා වීථිය, ඔරලෝසු කණුව හංදිය, පරණ පේරාදෙනිය පාර, පොලිසිය හන්දිය සහ තිලක් රත්නායක මාවත ඔස්සේ අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගනය දක්වා වූ මාර්ගයේ අදාළ කාලය තුළ රථවාහන ගමනාගමන සීමා කෙරෙනු ඇති.

ශ්‍රී දේහය රැගත් පෙරහර අස්ගිරි විහාරයේ සිට පොලිස් ක්‍රීඩාංගණය දක්වා පිටත් වන අවස්ථාවේදී ආචාර වෙඩි මුර 17 ක් සහිතව රාජ්‍ය ගරු බුහුමන්  පුද කෙරෙනු ඇති. ත්‍රිවිධ හමුදාවේ දහසකට වැඩි භට පිරිසක් එම අවස්ථාවට එක්වනවා. චිතකයට ගිනි දැල්වීමට පෙර ගුවනින් පුෂ්පෝපහාර දක්වා තවත් ආචාර වෙඩි මුර 17 ක් පවත්වන බවයි රජය ප්‍රකාශ කළේ.

අගමැති රනිල් වික්‍රමසිංහ, මහනාහිමියන්ගේ ශ්‍රී දේහය වෙත ඊයේ (11) ගරු බුහුමන් පුදකළ අවස්ථාව පහතින් ......