සන්ධානයේ පක්ෂ අතර ප්‍රතිපත්තිමය එකඟතාවක්

Friday, 17 April 2015 - 8:03

%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%BA+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
මැතිවරණ ක්‍රමය සංශෝධනය කළ යුතු බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂ ඊයේ (16) ප්‍රතිපත්තිමය එකඟතාවට පැමිණ තිබෙනවා.

පාර්ලිමේන්තුව තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ 11 ක නියෝජිතයන් ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුණගැසුණා. එහිදී 19 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවත්, මැතිවරණ ක්‍රමය සංශෝධනය සම්බන්ධයෙන් වූ යෝජිත 20 වන සංශෝධනය පිළිබඳවත් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති සංශෝධන සහ රජයේ පාර්ශවයෙන් ඉදිරිපත් කර ඇති සංශෝධන එක් ලියවිල්ලකට ගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදිය යුතු බවටයි තීරණය වී ඇත්තේ.

මීට අමතරව මැතිවරණ ක්‍රමය සංශෝධනය සම්බන්ධයෙන් වූ විසිවන ව්‍යවස්ථා සංශෝධනය, 19 වන ව්‍යවස්ථා සංශෝධනය සමග එකට ඉදිරිපත් කළ යුතු බවට සන්ධානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ එකඟත්වයකට පැමිණි බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළේ.

ඊයේ පැවති සාකච්ඡාවේදී ගනු ලැබූ මෙම තීන්දු, තීරණ අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි සුසිල් ප්‍රේමජයන්ත වැඩිදුරටත් සඳහන් කළා.

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්.

හදිසි පක්ෂ නායක රැස්වීමක් කැදවා කඩිනමින් විසදා ගත යුතු ගැටළු ගණනාවක් ඇතැයි පක්ෂ නායකයන් රැසක් කථානායකවරයා වෙත පෙරේදා ලිපියක් භාර දුන්නා. දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, තිස්ස විතාරණ සහ ඩිව් ගුණසේකර එම ලිපියට අත්සන් තබා ඇති පක්ෂ නායකයින්.

19 වන සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන්නේ මේ මස 20 සහ 21 යන දිනවලයි. ඊට පෙර මෙම පක්ෂ නායක රැස්වීම පවත්වන ලෙසයි කථානායකවරයාට යොමු කළ ලිපියේ දැක්වෙන්නේ.