Update: බැඳුම්කර සිද්ධියට මහබැංකු අධිපතිවරයාගේ ඍජු මැදිහත්වීමක් නැහැ

Sunday, 19 April 2015 - 15:28

Update%3A+%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%84%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%8D%E0%B6%A2%E0%B7%94+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
මහබැංකු බැඳුම්කර සිද්ධියට අදාළව තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඍජු දායකත්වයක් දක්වා නොමැති බව ඒ පිළිබඳ විමර්ශනය කළ ත්‍රිපුද්ගල කමිටුව හෙළි කර තිබෙනවා. ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ ජ්‍යෙෂ්ඨ නීතිඥයන් තිදෙනෙකුගෙන් සමන්විත එම කමිටුවේ වාර්තාව මේ වන විට භාර දී ඇති බවයි.

පසුගිය පෙබරවාරි මස 27 වන දා සිදුවූ මෙම භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී මහ බැංකු අධිපතිවරයාගේ බෑණනුවන්ට සම්බන්ධ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් ඉහළ පොලී අනුපාතිකයක් අදාළ බැදුම්කර සඳහා ඉදිරිපත් කර තිබූ බවත් මහ බැකුව අදාළ ණය ප්‍රමාණය බිලියන 10 දක්වා වැඩිකළ බවටත් චෝදනා එල්ල වුණා. අනතුරුව මේ පිළිබඳව සොයා බැලීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී පිටිපනගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ අතර, එහි සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කළේ නීතිඥ මහේෂ් කළුගම්පිටිය සහ නීතිඥ චන්දිමාල් මෙන්ඩිස්.

එම කමිටුව මේ පිළිබඳව මහබැංකු අධිපතිවරයාගෙන් සහ එහි නිලධාරීන්ගෙන් මෙන්ම ප්‍රාථමික ගැනුම්කරුවන්ගෙන් සහ මීට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

විමර්ශනයෙන් පසු ඔවුන් නිකුත් කළ පිටු 19කින් සමන්විත අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ, පසුගිය මාර්තු මස දෙවන දා වන විට රජයේ මූල්‍ය අවශ්‍යතාවය රුපියල් බිලියන 13.55ක් ලෙස මහබැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇති බවයි. මූල්‍ය මණ්ඩල ලඝු සටහන්වල වසර 30ක බැඳුම්කර නිකුතුවක් ගැන සදහන් කළත්, එහි ප්‍රමාණය පිළිබද මහබැංකු අධිපතිවරයා සභාපතීත්වය දරණ එම මණ්ඩලය තීරණය කර නොමැති බව ද එහි සඳහන්.

එම කාර්යය භාරව ඇත්තේ මහබැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවටයි. අගය ඉක්මවා ලන්සු භාර ගැනීමට අදාළ තීරණය ගෙන ඇත්තේ පුද්ගලයින් 8 දෙනෙකුගෙන් සමන්විත ටෙන්ඩර් මණ්ඩලයක් විසින්.

ඒ අනුව මහබැංකුවේ අධිපතිවරයා මෙම ටෙන්ඩර් මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කර නොමැති බව අදාළ කමිටු වාර්තාවේ දක්වා ඇති බව ප්‍රතිපත්ති සම්පාදන අමාත්‍යාංශය සදහන් කළා. එසේම රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හෝ ටෙන්ඩර් මණ්ඩලයේ කටයුතුවලට මහබැංකු අධිපතිවරයා කිසිඳු ඍජු මැදිහත්වීමක් කළ බවට සාක්ෂි හමු නොවූ බව ද කමිටු වාර්තාවේ සදහන්.

එහෙත් මෙම බැඳුම්කර සිද්ධියට අදාළව අසාමාන්‍ය වශයෙන් ඉදිරිපත් වූ විශාල ලන්සුවලට අදාළව ලංකා බැංකුව කටයුතු කළ ආකාරයේ බරපතල අඩු ලූහුඩුකම් පවතින බවයි කමිටු වාර්තාවෙන් ප්‍රකාශ කර ඇත්තේ. බැඳුම්කර සිද්ධියට අදාළව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ලන්සු ඉදිරිපත් කළ ආකාරය අසාමාන්‍ය බවත් ඒ පිළිබදව වැඩිදුර විමර්ශනයක් අවශ්‍ය බවත් කමිටුව වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

තවද එම කමිටුව තවත් නිර්දේශ කිහිපයක් ද ප්‍රතිපත්ති සම්පාදන අමාත්‍යාංශයට සිය වාර්තාව මගින් ඉදිරිපත් කර තිබෙනවා. වසර 30ක බැඳුම්කර නිකුතුවට අදාළව අතිවිශාල මුදල් සම්භාරයක් අවධානම් සහගත තත්ත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් ලංකා බැංකුව අධිකරණමය විගණනයක් පැවැත්විය යුතු බව එක් නිර්දේශයක්. ශ්‍රී ලංකා රජයේ දේශීය සහ විදේශීය ණය සම්බන්ධයෙන් වන සියලූ කාර්යයන් මෙහෙය වන්නේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින්. එම නිසා එම අංශයට අදාළව විධිමත් සුපරික්ෂණ සහ අධීක්ෂණ යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතු බව අදාළ කමිටුව කර ඇති අනෙක් නිර්දේශයයි.

මෙම කමිටු වාර්තාව ලැබීමෙන් පසු ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග කවරේදැයි හිරු ප්‍රවෘත්ති අංශය කරුණු විමසා සිටියේ ප්‍රතිපත්ති සම්පාදන සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන්. ඔහු කියා සිටියේ මෙම කමිටු වාර්තාව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.



Update: Sunday, 19 April 2015 - 07:51 PM
...................................................................................................................................


මහබැංකු බැඳුම්කර සිද්ධියට අදාළව තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී මහබැංකු අධිපතිවරයා ඍජු දායකත්වයක් දක්වා නොමැති බව ඒ පිළිබඳ විමර්ශනය කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව පවසනවා. ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වුණේ ඒ පිළිබදව විමර්ශනය කළ ජ්‍යෙෂ්ඨ නීතිඥයන් තිදෙනෙකුගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුව විසින් සකස් කළ පිටු 19කින් සමන්විත වාර්තාව එළිදක්වා ඇති බවයි. එම වාර්තාවට අනුව වසර 30ක් සදහා වන බැඳුම්කර නිකුතුවේ ලන්සු  භාර ගැනීමට අදාළ තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී මහබැංකු අධිපතිවරයා කිසිදු ඍජු දායකත්වයක් දක්වා නොමැති බව ද දක්වා තිබෙනවා. රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් මාර්තු 2 වන දා රුපියල් බිලියන 13.55ක් රජයේ මූල්‍ය අවශ්‍යතා ලෙස දක්වා ඇති බවයි එම වාර්තාව මගින් පෙන්වා දෙන්නේ.