19 ගැන අද පෙරවරුවේත් පක්ෂ නායක රැස්වීමක්

Monday, 20 April 2015 - 8:08

19+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය පිළිබඳ ගත යුතු ඉදිරි පියවර සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වෙනවා. කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන බවයි නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි සදහන් කළේ.

19 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට නව සංශෝධන එක් නොකර ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් සංශෝධන පමණක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පක්ෂ නායකයින් එකඟතාව පළ කර තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ පෙරවරුවේ පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමකදී මෙම තීරණයට එළඹුණු බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න සඳහන් කළේ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පක්ෂ නායක රැස්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද සහභාගි වී තිබෙනවා. එහිදී තීරණය කර ඇත්තේ අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මීට පෙර සැලසුම් කර තිබූ 19 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත එළඹෙන 21 සහ 22 යන දෙදින විවාදයට ගැනීමටයි. එසේම මැතිවරණ ක්‍රමයේ සිදුකෙරෙන සංශෝධන පසුවට ගෙන ඒමට ද පක්ෂ නායක රැස්වීමේදී එකඟතාවයකට පැමිණ තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර එම සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද මෙහිදී තීරණය කෙරුණු බවයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම්, හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.