අධිකරණ තහනම නොතකා අල්ලස් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණ

Thursday, 23 April 2015 - 12:55

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B6%9A%E0%B7%8F+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB
ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (23) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණියා. ඔහු අල්ලස් කොමිසමට පැමිණීමට පෙර ගිහි පැවිදි රැසක් අල්ලස් කොමිසම ඉදිරිපිටට රැස්ව සිටියේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවීමට විරෝධය පළ කිරීමටයි. මෙම ගිහි පැවිදි පිරිස  අල්ලස් කොමිසම ඉදිරිපිටට පැමිණීමෙන් අනතුරුව එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරීන් සමඟ උණුසුම් වචන හුවමාරුවක් ඇතිවුණා. ඒ, අල්ලස් කොමිසම ඉදිරිපිට විරෝධතා පැවැත්වීම වළක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (22) නිකුත් කළ නියෝගය පොලිස් නිලධාරීන් විසින් පැහැදිළි කිරීමත් සමඟයි.

ගිහි පැවිදි පිරිස අල්ලස් කොමිසම ඉදිරිපිටට රැස්වී විනාඩි කිහිපයකට පසු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අල්ලස් කොමිසම වෙත පැමිණියා. හිටපු ආරක්ෂක ලේකම්වරයා පැමිණි පසු එම ස්ථානයේ සිටි පිරිස ඔහු පිළිගැනීමට සූදානම් වීමත් සමඟ එම ස්ථානයේ ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්.

හිටපු ආරක්ෂක ලේකම්වරයා අල්ලස් කොමිසම තුළට පිවිසීමෙන් අනතුරුව විවිධ ප්‍රකාශයන් සිදුකරමින් රැස්ව සිටි ගිහි පැවිදි පිරිස අඛණ්ඩව විරෝධතාවයේ නිරතවුණා. මෙම විරෝධතාව හේතුවෙන් අල්ලස් කොමිසම ඉදිරිපිටින් පැයකට ආසන්න කාලයක් කොළඹ - බෞද්ධාලෝක මාවත අවහිරව තිබූ බවයි එම ස්ථානයේ සිටි හිරු මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ.



 කෙසේ වෙතත් අද අල්ලස් කොමිසමට පැමිණි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කොමිසම වෙත ප්‍රකාශයක් ලබාදී තිබුණේ නැහැ. අල්ලස් කොමිසම විසින් හිටපු ආරක්ෂක ලේකම්වරයා කැඳවීමට අදාළ කරුණු තවදුරටත් අධ්‍යයනය කළ යුතු බැවින් ඒ සඳහා කාලය අවශ්‍ය බව ඔහුගේ නීතීඥයන් අල්ලස් කොමිසමෙන් ඉල්ලා තිබෙනවා. ඊට අල්ලස් කොමිසම එකඟවීම හේතුවෙන් අද දිනයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශයක් ලබා නොදුන් බවයි වාර්තාවන්නේ.

විනාඩි කිහිපයකින් පසු අල්ලස් කොමිසමෙන් පිටතට පැමිණි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ රැස්ව සිටි ගිහි පැවිදි පිරිස අමතමින් කියා සිටියේ තමා සිය සේවා කාලය තුළ අවංකව සේවය කළ බවයි.


 
අද පෙරවරුවේ හිටපු ආරක්ෂක ලේකම්වරයා අල්ලස් කොමිසමට පැමිණීම හේතුවෙන් සංවිධාන කර තිබුූ විරෝධතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පේරුම, බන්දුල ගුණවර්ධන, එස්. එම්. චන්ද්‍රසේන, රොෂාන් රණසිංහ, ජයන්ත කැටගොඩ, සරණ ගුණවර්ධන ඇතුළු දේශපාලනඥයන් එක්ව සිටියා.

මීට අමතරව  බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් ඇතුළු පැවිදි පිරිසක් එම අවස්ථාවට එක්වූ බවයි හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.  

අල්ලස් කොමිසමෙන් පිටතට පැමිණි හිටපු ආරක්ෂක ලේකම්වරයා ඉන් අනතුරුව බන්දුල ගුණවර්ධන ඇතුළු  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සමඟ දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ බැලීමට ගොස් තිබෙනවා.