සබරගමුව ආචාර්යවරුන් ඉවත්වෙයි - වික්‍රමාරච්චි සිසුන් කොළඹට

Thursday, 30 April 2015 - 13:17

%E0%B7%83%E0%B6%B6%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%86%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7
සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරන පීඨයේ සිසුන් ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට විරෝධය පළ කරමින් එම අංශයේ ඉගැන්වීමේ කටයුතුවලින් බැහැරව සිටීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

 එමෙන්ම සිසුන්ගේ සත්‍යග්‍රහයට විරෝධය පළ කරමින් එහි අංශාධිපතිවරුන් සහ සමායෝජකවරුන් සිය ධුරවලින් ඉවත්ව කටයුතු කිරීමටද ඊයේ (29) සිට තීරණය කර ඇති බවයි විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය චන්දන පී උඩවත්ත හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. දේශනවලට සහභාගිවීමෙන් තොරව විභාගවලට පෙනී සිටීමට ඉඩ දෙන්නැයි ඉල්ලමින් කළමනාකරන පීඨයේ සිසුන් පිරිසක් අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළේ පසුගිය මාර්තු මාසයේ මුල සිටයි. අදාල සිසුන් පිරිස ප්‍රමාණවත් පරිදි දේශනවලට සහභාගි නොවීම නිසා විභාගවලට පෙනී සිටිමට අවස්ථාව ලබා නොදීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මීට පෙර පියවර ගත්තා. ඊට විරෝධය පළ කරමිනුයි සිසුන් සත්‍යග්‍රහය ආරම්භ කළේ. සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය චන්දන පී උඩවත්ත වැඩිදුරටත් සඳහන් කළේ සිසුන් විසින් අසාධාරණ කරුණු මූලික කරගනිමින් සත්‍යග්‍රහය ආරම්භ කර ඇති බවයි.

මේ අතර ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යා ආයතනයේ සිසුන් පිරිසක් අද (30) උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරතවුණා. ඒ, ආයුර්වේද විද්‍යායතනයේ පාලන අධිකාරියට විරෝධය පළ කරමින්. ඉන් අනතුරුව සිසුන් කිහිපදෙනෙකු උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන්ට සංදේශයක් භාරදීමෙන් පසු එම ස්ථානයෙන් විසිර ගිය බවයි එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයද අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ඊට එක්වෙමින් අදහස් දැක්වූ එහි කැඳවුම්කරු නජිත් ඉන්දික සඳහන් කළේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට ඊයේ විරෝධතාවක නිරතවූ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ භික්ෂුන්ට පහරදීම තරයේ හෙළා දකින බවයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදී ඊයේ විරෝධතාවක නිරත වූ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ භික්ෂූන්වහන්සේ ඇතුළු  සිසුන් පිරිසකට පොලීසිය එල්ල කළ ප්‍රහාරයෙන් තුවාල ලැබූ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ පස්නමක් කොළඹ ජාතික රෝහලේ තවමත් ප්‍රතිකාර ලබනවා. මීට අමතරව තවත් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ තුන්නමක් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බවයි  ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මේ අතර ඊයේ ඇතිවූ මෙම සිද්ධිය අතරතුර භික්ෂූන් වහන්සේ නමක් එල්ල කළ ගල් ප්‍රහාරවලින් කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා සහ තවත් උප පොලිස් පරීක්ෂකවරයෙකු කොළඹ ජාතික රෝහලේ තවමත් ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.