කම්කරු දිනයේදී පෞද්ගලික අංශයේ අවම වැටුප වැඩි වේ

Thursday, 30 April 2015 - 19:22

%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B4+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%9A
හෙට සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ සියලූම සේවකයන්ගේ අවම මාසික වැටුප රුපියල් 10,000 ක් දක්වා වැඩි කිරීමටත් අවම දෛනික වැටුප රුපියල් 400 ක් දක්වා ඉහළ දැමීමටත්, අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. මේ අතර, රජය පෞද්ගලික අංශයට යෝජනා කර ඇති රුපියල් 2500 ක වැටුප් වැඩි වීමෙන් රුපියල් 1500 ක් හෙට සිට වැඩි කිරීමටත් දෛනික වැටුප් ලබන සේවකයන්ගේ වැටුප හෙට (01) සිට රුපියල් 60 කින් වැඩි කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

පෞද්ගලික අංශයට යෝජිත වැටුප් වැඩිවීමෙන් ඉතිරි රුපියල් දහස ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර දෛනික වැටුප් ලබන සේවකයන්ගේ ඉතිරි රුපියල් 40 ක වැටුප් වැඩිවීම ද එදිනටම ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

කම්කරු අමාත්‍ය එස්.බී නාවින්න මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා. පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳ ප්‍රශ්නයට කඩිනම් විසඳුමක් ලබාදීමේ අරමුණින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බවයි කම්කරු අමාත්‍ය එස්.බී නාවින්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

පෞද්ගලික අංශය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා නීතියක් ගෙන ඒම පිළිබඳව ද අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවෙන් අවධානය යොමුකර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ අමාත්‍ය මණ්ඩල යෝජනාව ක්‍රියාත්මක නොවන්නේ නම් මෙය නීතියක් ලෙස ගෙන ඒමට කටයුතු කරන බවයි.

මේ අතර, වත්මන් මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා යෝජිත ව්‍යවස්ථා සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා. නව මැතිවරණ ක්‍රමයක් සඳහා වන ව්‍යවස්ථා කෙටුම්පතක් ජනාධිපතිිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර, තවදුරටත් ඒ සම්බන්ධයෙන් වන අදහස් මීළඟ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඉදිරිපත් කිරීමට ද එකඟතාවය පළ වී තිබෙනවා.

තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පතට ද ඊයේ (29) අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා. මෙම යෝජනාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබූ අතර, තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත සහ ජාතික විගණන පනත් කෙටුම්පත, හදිසි පනත් කෙටුම්පත් ලෙස ඉදිරිපත් නොකර සාමාන්‍ය ක්‍රියා පටිපාටිය ඔස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කළ යෝජනාවට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.

සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය නෛතික සහයෝගීතාව දැක්වීම පිළිබඳව ශ්‍රී ලංකා රජය සහ රුසියානු සමූහාණ්ඩුව අතර ඇති කර ගැනීමට යෝජිත ගිවිසුම ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.