පාර්ලිමේන්තුවේ වැඩිපුර විශ්වාසය දිනාගත් මන්ත්‍රීවරයා අගමැති වෙයි

Thursday, 30 April 2015 - 19:36

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
විධායක ජනාධිපති ධුරයේ බලතල 60% ත්, 65% ත් අතර ප්‍රමාණයකින් අඩු කිරීමට 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් හැකි වූ බව එය සකස් කළ කමිටුවේ ප්‍රධානී ජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ප්‍රකාශ කළා. ඒ, 19 වන සංශෝධනයෙන් ඇතිවු වෙනස්කම් පිළිබඳ දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙම මාධ්‍ය හමුවට එක්වු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ අජිත් පී. පෙරේරා කියා සිටියේ මෙම ව්‍යවස්ථා සංශෝධනය වැළැක්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔහුට හිතවත් මන්ත්‍රීවරුන් හරහා අවසාන මොහොත දක්වා උත්සාහ කළ බවයි.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ ඡන්දයෙන් පෙරේදා සම්මත කරගත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ මුක්තිය සීමා කර තිබෙනවා.

මේ අනුව ජනාධිපතිවරයාගේ නිල කටයුත්තක් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරිය හැකියි.

කෙසේ වෙතත්, ජනාධිපතිවරයා තවදුරටත් රාජ්‍ය නායකයා, විධායකයේ ප්‍රධානියා, ආණ්ඩුවේ ප්‍රධානියා, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා සහ සේනාධිනායකයා ලෙස කටයුතු කරනු ඇති.

ඔහුගේ නිල කාලය වසර 05 දක්වා අඩුකර තිබෙනවා.

පාර්ලිමේන්තුවක් පත් වී වසර හතරහමාරක් තුළ ජනාධිපතිවරයාගේ තනි කැමැත්තට එය විසුරුවා හැරිය නොහැකියි.

ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා පත් කරන්නේ පාර්ලිමේන්තුවේ වැඩි දෙනෙකුගේ විශ්වාසය දිනාගත් මන්ත්‍රීවරයා කවුරුන්ද යන්න සලකා බැලීමෙන් අනතුරුවයි. අගමැති ඉවත් කිරීමට ජනාධිපතිවරයාට තිබූ බලතල අහෝසි කර තිබෙනවා. ඉවත් කළ හැක්කේ අගමැතිට එරෙහි විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් සම්මත වීමෙන් අනතුරුවයි.

එහෙත් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය, අයවැය ලේඛණය පරාජයට පත්වුවහොත් අගමැති ඇතුළු සමස්ත කැබිනට් මණ්ඩලයට එම ධූරයන් අහිමි වනවා. එවිට නව අගමැති සහ කැබිනට් මණ්ඩලය පත් කරන්නේ ජනාධිපතිවරයායී.

කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු ජනාධිපතිවරයා විසින් පත් කරන්නේ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මතයි.

එහෙත් අමාත්‍යවරුන්ගේ විෂයන් හා කාර්යයන් පිළිබඳ අවසාන තීරණය ජනාධිපතිවරයා විසින් ගන්නා අතර, එසේ කරන්නේද අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි.

කැබිනට් අමාත්‍යවරු සංඛ්‍යාව උපරිම වශයෙන් 30 ක් වන අතර, රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු උපරිම සංඛ්‍යාව 40 ක්.

ජනාධිපති ධුරය යම් අයෙකුට දැරිය හැක්කේ දෙවරක් පමණයි. එයට ඉදිරිපත් වන තැනැත්තාගේ අවම වයස අවුරුදු 35 ක් විය යුතුයි.

ජනාධිපති ධුරය පුරප්පාඩු වූ විට වැඩබලන ජනාධිපතිවරයා වන්නේ අග්‍රාමාත්‍යවරයා වන අතර, පසුව ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අතරින් කෙනෙකු පත්කර ගැනීමේ පෙර පැවති ක්‍රමය 19 වන සංශෝධනයෙන් වෙනස් කර නැහැ.

19 වන සංශෝධනයෙන් ද්විත්ව පුරවැසිභාවය ඇති අයෙකුට පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් විය නොහැකියි.