Update : ශ්‍රී ලංකාව, ඉලක්ක වෙත - ඇමරිකානු රාජ්‍ය ලේකම්

Saturday, 02 May 2015 - 7:44

Update+%3A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%2C+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%AD+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A
වසර 30 ක් පුරා පැවති යුද්ධයකින් පසු උදා කර ගත් සාමය දීර්ඝ කාලීනව පවත්වා ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර මධ්‍යස්ථානය විසින් සංවිධානය කර තිබූ මහජන දේශනයට අද (02) පස්වරුවේ කොළඹදී එක්වෙමින්. පවතින සාමය තරුණ පරපුර සඳහා රැක ගැනීමේ වගකීම පිළිබඳව ද ඔහු මෙහිදී අදහස් පළ කළා. ශ්‍රී ලංකාවට ස්ථිරසාර සාමයක් කරා ගමන් කළ හැකි බව තම රජය විශ්වාස කරන බවයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙහිදී අවධාරණය කර සිටියේ. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය ලේකම්වරයා කියා සිටියේ බලය බෙදාහැරීම සඳහාද තම රජයේ සහය ශ්‍රී ලංකාවට ලබාදෙන බවයි.

අද (02) පෙරවරුවේ දිවයිනට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පළමුව මුණ ගැසුණේ විදේශ අමාත්‍ය මංගල සමරවීරයි. ශ්‍රී ලංකාවේ නව රජය බාධක බිඳලමින් ඉලක්ක වෙත යොමුවන බව අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළා.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් ප්‍රකාශ කළේ එය දෙරට අතර නව ක්‍රමෝපාය සබඳතාවකට මුල පුරනු ඇති බවයි. විශේෂයෙන් පසුගිය රජය සමයේ අඩාල වී තිබූ ශ්‍රී ලංකා - ඇමරිකානු සබඳතා යථා තත්ත්වයට පත් කර ගැනීමට එමගින් අවස්ථාව උදා වනු ඇති බව ඇමරිකානු බෘක්ලින් අධ්‍යයන ආයතනයේ රාජ්‍ය තාන්ත්‍රික විශේෂඥවරියක සඳහන් කළා.

ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර අද උදෑසන මුණ ගැසුණා. එහිදී පැවැති සාකච්ඡා  පිළිබඳ පසුව පැවැති මාධ්‍ය හමුවේදී ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවේ නව රජය නොබියව සෘජු තීරණ ගන්නා තත්ත්වයක් දක්නට ලැබෙන බවයි. ආසියානු කලාපය තුළ සුවිශේෂ රටක් වන ශ්‍රී ලංකාව ලොව වැදගත් තීන්දු තීරණ වලදී විශේෂයෙන් සළකා බැලෙන රටක් බවට පත්ව ඇතැයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා කියා සිටියා. ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකාවේ නව ප්‍රවනතාවන් පිළිබඳ ඇමරිකාව බෙහෙවින් සතුටට පත්වන බවයි.

ඉන් අනතුරුව, ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ජනාධිපතිවරයා මුණ ගැසුණා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුව පැවති බවයි. එමෙන්ම රාජ්‍ය ලේකම්වරයා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද අරලියගහ මන්දිරයේදී අද දහවල් මුණ ගැසුණා. එහිදී ද්වීපාර්ශවික සාකච්ඡා  ද සිදුවූ අතර, ඔහු වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහය ද පිරිනැමුණු බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

මේ අතර, දිවයිනට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා අද පස්වරුවේ කැළණිය රජමහා විහාරස්ථානය ද වැඳපුදා ගත්තා.
කැළණි විහාරස්ථානයට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පිළිගනු ලැබුවේ විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන්. අප වාර්තාකරු සඳහන් කළේ ලේකම්වරයා පසුව ආගමික වතාවත්වල ද නිරත වූ බවයි.


Update : Saturday, 02 May 2015 - 18:40
----------------------------------------------

ශ්‍රී ලංකාවට පැමිණි ජෝන් කෙරීගෙන් පණිවුඩයක්

ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී අද (02) පෙරවරු 7.50ට ඇමරිකාවේ සිට පැමිණි විශේෂ ගුවන් යානයකින් දිවයිනට ළඟා වුණා. ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සමඟ 35 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ද දිවයිනට පැමිණි බවයි. ඔවුන් පිළිගෙන ඇත්තේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර විසින්. 2005 වසරෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන  ප්‍රථම ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා වන්නේ ද ඔහුයි.

2004 වසරේ සුනාමි උවදුරෙන් පසු ඇමරිකානු රාජ්‍ය ලේකම් කොලින් පවෙල් ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතර, නිළ සංචාරයක් සඳහා ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයෙකු මීට පෙර දිවයිනට පැමිණියේ මීට වසර 43කට පෙරයි. විලියම් පියර්ස් රොජර්ස් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා 1972 වසරේ මෙරට නිළ සංචාරයක නිරත වුණා.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර හමුවීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුණ ගැසීමට නියමිතයි. ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ දහවල් අරලිය ගහ මන්දිරයේදී සාකච්ඡාවක නිරත විය. අද පස්වරුවේ කැළණි විහාරස්ථානයේ සංචාරය කරන ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා එහි ගොස් නැවත පැමිණෙන මාර්ගයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.  

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් ප්‍රකාශ කළේ එය දෙරට අතර නව ක්‍රමෝපාය සබඳතාවකට මුල පුරනු ඇති බවයි. විශේෂයෙන් පසුගිය රජය සමයේ අඩාල වී තිබූ ශ්‍රී  ලංකා - ඇමරිකානු සබඳතා යථා තත්ත්වයට පත් කර ගැනීමට එමගින් අවස්ථාව උදා වනු ඇති බව ඇමරිකානු බෘක්ලින් අධ්‍යයන ආයතනයේ රාජ්‍ය තාන්ත්‍රික විශේෂඥවරියක සඳහන් කළා.

ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර අද උදෑසන මුණ ගැසුණා. එහිදී පැවැති සාකච්ඡා  පිළිබඳ පසුව පැවැති මාධ්‍ය හමුවේදී විදේශ කටයුතු අමාත්‍යවරයා අදහස් දක්වා සිටියා.

‘‘ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයෙකු මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ අඩසිය වසකට පමණ පසුවයි. එමගින් ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර නව සහයෝගීතාවක් සලකුණු කෙරෙනවා. රාජ්‍ය ලේකම් කෙරී සමඟ වොෂින්ටනයේ පැවැති සාකච්ඡාවල ඉදිරි පියවරක් ලෙසයි අද මම ඔහු සමඟ අදහස් හුවමාරු කර ගත්තේ. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය යෙදී ඇත්තේ අතිශයෙන් යෝග්‍ය අවස්ථාවක් බව කිව යුතුයි. ලෝක සාමයට පහනක් වූ බුදුන් වහන්සේගේ උත්පත්තිය සලකුණු කෙරෙන වෙසක් උත්සවය යෙදී තිබීම එක් හේතුවක්. එමෙන්ම ශ්‍රී ලංකාව 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීම සමරන අවස්ථාවක් මෙය. එමගින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස සුරක්ෂිත කිරීමට හැකියාව ලැබෙනු ඇති. රජයේ දින 100යේ වැඩසටහන සමාප්තියත් සමඟ රාජ්‍ය ලේකම්වරයාගේ චාරිකාව යෙදී තිබීම විශේෂත්වයක්. වගවීම් සහතික කරමින් ඇති කෙරෙන මෙරට දේශීය පරීක්ෂණ ක්‍රියාවලියක් සඳහා ඇමරිකාවට ද සහතික විය හැකියි. එමෙන්ව ශ්‍රී ලංකාවේ නව වාතාවරණය තුළ පවතින ආයෝජන අවස්ථාවලින් ද ඇමරිකාව ප්‍රයෝජන ගනු ඇතැයි අප අපේක්ෂා කරනවා.’’

ඉන් අනතුරුව අදහස් දැක්වූ ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී කියා සිටියේ ශ්‍රී ලංකාවේ නව ප්‍රවනතාවන් පිළිබඳ ඇමරිකාව බෙහෙවින් සතුටට පත්වන බවයි.
 
‘‘ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුව සැළකූ විට මට විශේෂ ලක්ෂණයක් පෙනෙනවා. ඒ, අභියෝග ජය ගැනීම සඳහා ඔවුන් තුළ පවතින දැඩි අධිෂ්ඨානයයි. බාධක බිඳලමින් ඔවුන් එම ඉලක්කයන් කරා යොමු වෙමින් සිටිනවා. නව රජයේ දින 100යේ වැඩසටහන සැළකූ විට ද අපට එම තත්ත්වය දැකිය හැකියි. ශ්‍රී ලංකාවේ මෙම විශිෂ්ඨ නායකත්වය ඉදිරියටත් රට නිවැරදි මාර්ගය කරා මෙහෙය වනු ඇති බව අපගේ විශ්වාසයයි. ශ්‍රී ලාංකික ජනතාවට මම එක පණිවුඩයක් දිය යුතුයි. ඒ, ඔබ සමඟ ඇමරිකානු ජනතාව අඛණ්ඩව සිටින බවයි. දෙරට අතර සහයෝගීතා සාකච්ඡා වාර්ෂිකව පවත්වා ගැනීමට පියවර ගැනෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවට තාක්ෂණික සහය ලබාදීම සඳහා පවතින බාධක ඉවත් කරන ලෙස මම රාජ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් දෙනවා.’’

Update : Saturday, 02 May 2015 - 14:10
----------------------------------------------------

ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී දිවයිනට පැමිණෙයි

ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණි බව අප ගුවන් තොටුපළ වාර්තාකරු වාර්තා කළා. ඇමෙරිකාවට අයත් බෝයිං 757 දරණ ගුවන් යානයෙන්  ජෝන් කෙරී ඇතුළු 35දෙනෙකුගෙන් සමන්විත දූත පිරිස අද පෙරවරු 8ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට මෙලෙස පැමිණ තිබෙනවා. ඔහු පිළිගැනීමට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර පැමිණ සිටි ඇති අතර, ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා වෙනුවෙන් දැඩි ආරක්ෂාවක් ද යොදා ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළේ.

Update : Saturday, 02 May 2015 - 8:10
----------------------------------------------------
ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී අද දිවයිනට

ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී දින දෙකක සංචාරයක් සඳහා අද (02) දිවයිනට පැමිණෙනවා. ඔහු සිය සංචාරය තුළ දී ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා මෙන්ම විදේශ අමාත්‍යවරයා ඇතුළු කිහිප දෙනෙකු සමඟ සාකච්ඡා පවත්වන බවයි විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. 2005 වසරෙන් පසුව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයෙකු ශ්‍රී ලංකාවේ සංචාරය කර නැහැ.

මේ අතර, ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරය වෙනුවෙන් අද කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මකයි.