19 ඉවරයි දැන් 20 පටන් ගනියි

Tuesday, 05 May 2015 - 7:49

19+%E0%B6%89%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+20+%E0%B6%B4%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%92
නව මැතිවරණ සංශෝධනය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සිය ස්ථාවරය දැනුම්දෙන්නේ පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් පත් කරන ලද විශේෂ කමිටුවකින් ලබාදෙන තීරණයෙන් පසුව බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පවසනවා. දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යම කාරක සභාව ඊයේ රැස්වුණා. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කළේ. විශේෂ කමිටුව ගම් මට්ටමට ගොස් ජනතාව හමුවී අදහස් ලබාගන්නා ලෙසයි මධ්‍යම කාරක සභාව උපදෙස් ලබාදී ඇත්තේ.

මේ අතර, නව මැතිවරණ ක්‍රමය මගින් සුළු දේශපාලන පක්ෂවලට අවාසියක් සිදු නොවන බව කැෆේ සංවිධානය පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් එහි විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් කියා සිටියේ මෙම මැතිවරණ සංශෝධනය මගින් සුළු පක්ෂවලට ද යම් යම් වාසි අත්වන බවයි.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියේ කුඩා දේශපාලන පක්ෂවලට පාර්ලිමේන්තුව නියෝජනය කළ හැකි ආකාරයට 20 වන සංශෝධන නව යෝජනා ඇතුළත් විය යුතු බවයි.

මේ අතර මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට සුළු පක්ෂවල සහයෝගයද ලැබී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියා සිටියා.              

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය පවසන්නේ යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මේ දක්වා සුළු පක්ෂවල සහයෝගය ගැටලූවක්ව පවතින බවයි.