Update: ගාල්ල පුරපති මෙත්සිරි සිල්වාට යළිත් ධුරය අහිමි වෙයි

Friday, 08 May 2015 - 13:51

Update%3A+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මෙත්සිරි සිල්වා ගාල්ල පුරපති ධුරයෙන් ඉවත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කළ ගාල්ල පළාත්බද මහාධිකරණ තීන්දුව, අභියාචනාධිකරණය අද (08) අවලංගු කළා. ඒ,  දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා මීට අදාළව ගොනු කළ පෙත්සමක් සලකා බලමින්.

ගාල්ල නගරාධිපති ධුරය සම්බන්ධයෙන් කලක් පුරා පවතින්නේ අර්බුදකාරී තත්ත්වයක්. 2006 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී වත්මන් නගරාධිපති මෙත්සිරි සිල්වා සහ නියෝජ්‍ය නගරාධිපති කැලූම් සෙනෙවිරත්න සමාන මනාප ලබා ගැනීම එහි ආරම්භයයි. එහිදී ඔවුන් මනාප 5998 බැගින් ලබාගෙන තිබුණා. පසුව  ඔවුන් දෙදෙනා වසර දෙක බැගින් නගරාධිපති ධුරය දැරීමට එකඟත්වයකට පැමිණි අතර පළමුව අවස්ථාව හිමි වුණේ කැලූම් සෙනෙවිරත්නටයි. එහෙත් වසර දෙකක් අවසන් වීමෙන් පසු ඔහු නියමිත පරිදි නගරාධිපති ධුරය භාර නොදීම නිසා වත්මන් නගරාධිපති මෙත්සිරි සිල්වා 2008 වසරේ මාරාන්තික උපවාසයක් ද සිදුකළා. ඉන් අනතුරුවයි ඔහුට ගාලූ නගරාධිපති ධුරය හිමි වන්නේ.

එම කාලය තුළ ඔහු විසින් සිදුකළා යැයි කියන පරිපාලන, මූල්‍ය සහ දූෂණ ඇතුළු කරුණු කිහිපයකට අදාළව චෝදනා 24ක් යටතේ දකුණු පළාත් මහඇමතිවරයා නගරාධිපති මෙත්සිරි ද සිල්වාගෙන් කරුණු විමසුවා. අනතුරුවයි මෙම චෝදනා මත ඔහුට එරෙහිව අධිකරණ ක්‍රීයාමාර්ග ආරම්භ වන්නේ. කෙසේ වෙතත්, 2011 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී මෙත්සිරි සිල්වා යළි ගාලූ නගරාධිපතිවරයා වශයෙන් තේරී පත්වන අතර නියෝජ්‍ය නගරාධිපතිවරයා වන්නේ කැලූම් සෙනෙවිරත්නයි.

2013 වසරේ ජනවාරි 13 වන දා දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ගාලූ නගරාධිපති මෙත්සිරි සිල්වා ධුරයෙන් ඉවත් කරන්නේ අදාළ චෝදනාවලට නිසි පිළිතුරු නොලැබුණු බව පවසමින්. ඊට එරෙහිව ගාලූ නගරාධිපතිවරයා අධිකරණයේ පිහිට පැතූ අතර කලක් තිස්සේ විභාග වූ නඩු කටයුතුවලින් අනතුරුව පසුගිය වසරේ ජුනි 26 වන දා ගාල්ල පළාත්බඳ මහාධිකරණය මහඇමතිවරයාගේ නියෝගය බලරහිත කරමින් මෙත්සිරි සිල්වාට යළි නගරාධිපති ධුරය දැරීමට අවස්ථාව හිමිකර දෙනවා. මෙම පළාත්බඳ මහාධිකරණ තීන්දුවට එරෙහිවයි යළි දකුණු පළාත් මහඇමති ශාන් විජේලාල් ද සිල්වා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේ.

කෙසේ වෙතත්, යළි ධුරය අහිමි වීමෙන් පසු නගර සභා නිළ කාමරයට පැමිණි තමන්ට නියෝජ්‍ය නගරාධිපතිවරයා ඇතුළු පිරිසක් බාධා කළ බව ගාලූ නගරාධිපති මෙත්සිරි සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළා.

මේ පිළිබදව අප ගාල්ල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති කැලූම් සෙනෙවිරත්නගෙන් ද විමසීමක් කළා. ඔහු කියා සිටියේ නගරාධිපතිවරයා තම කාමරය තුළ ඉබි යතුරු දමාගෙන සිටි බවයි.



Update: Friday, 08 May 2015 - 13:51
.....................................................................................................................................

ගාල්ල - පුරපතිට අභියාචනාධිකරණයෙන් තීන්දුවක්

මෙත්සිරි සිල්වා ගාල්ල පුරපති ධුරයෙන් ඉවත් කරමින් තමා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කළ ගාල්ල පළාත්බද මහාධිකරණ තීන්දුව, අභියාචනාධිකරණය අද (08) අවලංගු කළ බව දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා ප්‍රකාශ කළා. මේ අනුව, ගාල්ල නගරාධිපතිවරයාට තවදුරටත් එම ධුරයේ රැදී සිටි නොහැකි බවයි ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ගාල්ල පුරපති මෙත්සිරි සිල්වාගෙන් ද කරුණු විමසූ අතර ඔහු කියා සිටියේ මෙම අධිකරණ තීන්දු සම්බන්ධයෙන් තමන් කරුණු නොදන්නා බවයි.