ශ්‍රී ලංකාව, චීන සමුද්‍ර ආරක්ෂක ජාලයෙන් ඈත් වනවා

Saturday, 09 May 2015 - 13:13

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%2C+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%88%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B7%80%E0%B7%8F
ඉන්දු - පැසිෆික් කලාපීය සමුද්‍ර ආරක්ෂක වැඩසටහන සඳහා එක් කර ගැනීමෙන්, ඇමරිකා එක්සත් ජනපදය, ශ්‍රී ලංකාව, චීන සමුද්‍ර ආරක්ෂක ජාලයෙන් ඈත් කිරීමට කටයුතු කරන බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත ප්‍රකාශ කළා. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය අඟහරුවාදා ප්‍රකාශ කළේ භූමිය හෝ සමුද්‍ර කලාප බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම සඳහා දරණ ප්‍රයත්නයන්ට එරෙහිව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය සූදානම් බවයි. එමගින් දකුණු - චීන මුහුදේ මතභේදයට ලක්වූ දිවයින් පෙළක් සඳහා චීනය සිදුකරන බලපෑම්වලට ප්‍රතිචාර දක්වා ඇති බවයි ඉන්දීය පුවත්පත වැඩිදුරටත් සදහන් කළේ. ඉන්දු - පැසිෆික් කලාපයේ සමුද්‍ර ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකාවට වැදගත් කාර්ය භාරයක් ඉටු කිරීමට ඇති බව ඇමරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ භූ ගෝලීය පිහිටීම ඊට ප්‍රධාන හේතුවක් ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කළා. ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකාව කියා සිටියේ කලාපීය සමුද්‍ර ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ප්‍රමුඛ කාර්ය භාරයක් පැවරෙන බවයි.

මේ අතර, සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවැති විශ්‍රාමික ආරක්ෂක ප්‍රධානීන් හමුවට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රමෝපාය වැදගත්කම ඇමරිකාව වටහාගෙන සිටින බවයි.

ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගේ ශ්‍රී ලංකා සංචාරය ආසන්නයේ පසුගිය අප්‍රේල් 19 වන දා න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක ඇමරිකානු කාල් වින්සන් ගුවන් යානා හාරක නෞකාව ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ නැංගුරම් ලා තිබූ බව ද ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත සදහන් කළා. ශ්‍රී ලංකාවට සැතපුම් 225ක් ඈතින් නැංගුරම් ලා තිබූ එම නෞකාවට මෙරට නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා ද ගොස් තිබෙනවා. එවැනි සම්බන්ධතාවකට ඉඩ සැලසීම ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර ආරක්ෂක සහයෝගීතාවයේ නව පියවරක් බවයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ.