Update: නවුසර් ෆවුසි අල්ලන්න නියෝග

Monday, 11 May 2015 - 12:51

Update%3A+%E0%B6%B1%E0%B7%80%E0%B7%94%E0%B7%83%E0%B6%BB%E0%B7%8A+%E0%B7%86%E0%B7%80%E0%B7%94%E0%B7%83%E0%B7%92+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C
එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් සභා මන්ත්‍රී නවුසර් ෆවුසි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අද (11) නියෝග කළා. ඒ, කොළඹ අපරාධ කොට්ඨාශයට සහ කුරුදුවත්ත ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරීවරයාටයි. 2011 වසරේ කොළඹ ටොරින්ටන් ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුට ගිනි අවියක් පෙන්වා බියගැන්වීම සහ මරණ තර්ජන එල්ල කිරීම ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාව වනවා. නවුසර් ෆවුසි ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසිගේ පුත්‍රයායි.

මේ අතර, මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ මස 25 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කළා. ඒ  කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පසුගිය 5 වැනිදා ඔහු අත්අඩංගුවට ගත්තේ වෙළඳ අමාත්‍යවරයාව සිටි සමයේ ලක් සතොස ආයතන කිහිපයකින් මුදල් ගෙවීම් සිදුනොකර භාණ්ඩ ලබාගෙන රුපියල් පනස් දෙලක්ෂ 75,000 ක මූල්‍ය අක්‍රමිකතාවක් සිදුකර ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අදාළවයි.

හිටපු අමාත්‍යවරයා සමඟ රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ලක් සතොස ආයතනයේ හිටපු සභාපති කේ.එම්.ආර් ප්‍රනාන්දු ද අද යළි අධිකරණයට ඉදිරිපත් කළ අතර, ඔහු ද ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

එසේම මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක එම තනතුරෙන් ඉවත් කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් ලබාදුන්නා. ඒ,  තමන් එම ධුරයෙන් ඉවත් කිරීමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නොමැති බවට නියෝගයක් ලබාදෙන ලෙස සරත් ඒකනායක මහ ඇමතිවරයා ඉදිරිපත් කළ පෙත්සමක් සැළකිල්ලට ගනිමින්.

මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායකට එරෙහිව පළාත් සභාවේ විපක්ෂ නායක රංජිත් අලූවිහාරේ ඇතුලූ මන්ත්‍රීවරු 19 දෙනෙකුගේ අත්සනින් යුතුව විශ්වාසභංග යෝජනාවක් එහි නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයා වෙත භාරදුන්නේ පසුගිය අප්‍රේල් 17 වැනිදායි. ඒ, පල්ලෙකැලේ පළාත් සභා ලේකම් කාර්යාලය සහ දිගන ක්‍රීඩාංගණය ඉදි කිරීමේදී මූල්‍ය වංචා සිදුකිරිම ඇතුලූ චෝදනා 9 ක් සම්බන්ධයෙන්. ඊට අදාලවයි මහඇමතිවරයා මෙම පෙත්සම ගොනු කළේ.

බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංග සහ ඌව පළාත් සභාවේ හිටපු මහඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ ද මෙවැනිම පෙත්සම් දෙකක් අභියාචනාධිකරනය වෙත මීට පෙර ඉදිරිපත් කර තිබුණා. බස්නාහිර පළාත් මහ ඇමතිවරයා ඉදිරිපත් කළ පෙත්සම අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප කළේ පළාත් සභාව තුළ මහ ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් වී නොතිබීම හේතුවෙන්. ඌවේ හිටපු මහඇමතිවරයාගේ පෙත්සම මීට පෙර ප්‍රතික්ෂේප වුණා. කෙසේ වෙතත්, ඌව පළාත් සභාවේ නව මහඇමති හරීන් ප්‍රනාන්දු එම ධුරයට පත්වීමට එරෙහිව ඌව පළාත් සභාවේ  හිටපු ක්‍රීඩා ඇමති, චාමර සම්පත් ගොනු කළ පෙත්සමක් ද අද විභාගයට ගෙන තිබෙනවා. එහිදී අභියාචනාධිකරණය ඊට අදාළ තීන්දුව ලබාදීම මේ මස 21 වන දා දක්වා කල් දමා ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවට ඊට අදාළව කරුණු දැක්වීමට අවස්ථාව ඉල්ලා සිටීම හේතුවෙන්.

මහනුවර - පල්ලෙකැළේ ක්‍රීඩාංගණය ඉදිකිරීමේදී රුපියල් මිලියන 500ක අක්‍රමිකතා සිදුවී ඇති බවට කළ පැමිණිල්ලකට අදාළ නඩුවක් ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය හමුවේ අද විභාගයට ගැනුණා. එහිදී මහේස්ත්‍රාත්වරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට නියෝග කර ඇත්තේ ව්‍යාපෘතියට අදාළ ගිවිසුම්වල මෙන්ම භාණ්ඩ මිලදී ගැනීම් සම්බන්ධයෙන් වන විස්තරවල පිටපත් ඉදිරිපත් කරන ලෙසයි. 


Update: Monday, 11 May 2015 - 08:21 PM
...........................................................

ෆවුසිගේ පුතා අත්අඩංගුවට ගන්නැයි නියෝග


එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් සභා මන්ත්‍රි නවුසර් ෆවුසි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය කොළඹ අපරාධ කොට්ඨාශයට සහ කුරුදුවත්ත ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරීවරයාට අද නියෝග කළා.

ඒ, 2011 වසරේ ටොරින්ටන් ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුට ගිනි අවියක් පෙන්වා බියගැන්වීම සහ මරණ තර්ජන එල්ල කිරීමේ චෝදනාවටයි. නවුසර් ෆවුසි පසුගිය රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු සහ වත්මන් රජයේ ආපදා කළමනාකරන අමාත්‍යවරයා වන ඒ.එච්.එම්. ෆවුසිගේ පුත්‍රයාද වනවා.