තහනම් කළ වල් නාශක කන්ටේනර් 20ක් කොළඹ වරායට

Tuesday, 12 May 2015 - 12:52

%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%9A+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%9A%E0%B6%B1%E0%B6%BB%E0%B7%8A+20%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%A7
වකුගඩු රෝගයට හේතු වන ග්ලයිෆොසේට් නමැති වල් නාශක ලීටර් දෙලක්ෂ 36,000ක් අඩංගු බහාලූම් 20ක් කොළඹ වරායට පැමිණ ඇතැයි රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා. පෞද්ගලික සමාගමක් විසින් මේවා ඉන්දුනීසියාවේ සිට මෙරටට ආනයනය කර ඇති බවයි ඔහු අනාවරණ කළේ.

ග්ලයිෆොසේට් නමැති මෙම වල් නාශකය දිස්ත්‍රික්ක 4ක භාවිතයට ගැනීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල එම තහනම ක්‍රියාත්මක අතර බදුල්ල දිස්ත්‍රික්කයේ ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 4ක ග්ලයිෆොසේට් වල් නාශකය තහනම් කර ඇත්තේ වකුගඩු රෝගයට හේතු විය හැකි නිසාවෙන්. කෙසේ වෙතත්, දැනට රේගු භාරයේ පවතින අදාළ වල් නාශක තොගය මුදා හැරියහොත් එය ජනතාවගේ සෞඛ්‍ය කෙරෙහි අහිතකර අන්දමින් බලපෑ හැකි නිසා ඒවා මුදා හැරීමෙන් වළකින ලෙසයි වෛද්‍ය චන්න ජයසුමන ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේ.

කොළඹ වරායේ පවතින මෙම වල් නාශක තොගය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණීගෙන් ද කරුණු විමසුවා. ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවයි. මේ පිළිබදව දැන ගැනීමට හිරු ප්‍රවෘත්ති අංශය කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් බී. විජේරත්න දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට අද උදෑසන සිටම උත්සාහ කළත් එය ව්‍යර්ථ වුණේ ඔහු අත්‍යවශ්‍ය රාජකාරී කටයුත්තක නිරතවීම හේතුවෙන්.