වානේ සංස්ථාව, ඩුබායි මැරියට් මට අයිති නැහැ - මහින්ද

Thursday, 14 May 2015 - 18:39

%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%2C+%E0%B6%A9%E0%B7%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF
වානේ සංස්ථාවේ සහ ඩුබායි මැරියට් හෝටලයේ ආයෝජනය කර ඇති ඩොලර් මිලියන 238 කට ආසන්න මුදලක් සම්බන්ධයෙන් තමන්ට එරෙහිව අසත්‍ය චෝදනාවක් ඉදිරිපත් කර ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් අද (14) ප්‍රකාශ කළා. හිටපු ජනාධිපතිවරයා පවසන්නේ මේ සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ ඒකකය කඩුවෙල මහේස්ත්‍රාත් උසාවියට බී වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවයි. එමඟින් වානේ සංස්ථාවේ සහ ඩුබායි මැරියට් හෝටලයේ ආයෝජනය කර ඇති ඩොලර් මිලියන 238 කට ආසන්න මුදල අයිති ඒවායේ අයිතිකරු ලෙස පෙනී සිටින නන්දන ලොකුවිතානට නොව තමන්ට බව සඳහන් කර ඇති බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අදාළ බී වාර්තාව මගින් පොලිසිය අධිකරණයට දන්වා ඇති බව සඳහන්. නිර්නාමික ලිපියක අන්තර්ගතය මත විමර්ශනය සිදුකරන්නේ යැයි උසාවියට ඉදිරිපත් කළ මෙම බී වාර්තාවේ දැක්වෙන බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරන්නේ.

මෙමඟින් දේශපාලන විරුද්ධවාදීන්ට අසත්‍ය චෝදනා එල්ල කර හිරිහැර කිරීමේ උත්සාහය පැහැදිලි වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. මේ අතර, මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක්ද පවතින බව හිටපු ජනාධිපතිවරයා සිය නිවේදනයෙන් සිහිපත් කර තිබෙනවා.

මෙම බී වාර්තාව මගින් සඟවන ලද වත්කම් පිළිබඳ තමන්ට නඩුවක් ඇති බවට ඒත්තු ගැන්වීමට උත්සාහ දරා ඇති බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසන්නේ. මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිත මොහොතක එවැනි ප්‍රචාරයක් පතුරුවා හැරීම දේශපාලන විරුද්ධවාදීන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් අවස්ථාවක් වනු ඇති බවද නිවේදනයේ සඳහන්. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිකුත් කළ නිවේදනය මගින් වැඩිදුරටත් අවධාරණය කරන්නේ වානේ සංස්ථාව සහ ඩුබායි හි මැරියට් හෝටලය අයිති ඒවායේ හිමිකරුවන්ට මිස තමන්ට නොවන බවයි.