කහවත්තේ තවත් විරෝධතාවක්

Saturday, 30 May 2015 - 8:05

%E0%B6%9A%E0%B7%84%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
රත්නපුර - කහවත්ත - කොටකෙතන ප්‍රදේශයේ මවක සහ දියණියක ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් නිදහස් කිරීමට විරෝධය පළ කරමින් ඊයේ (29) රාත්‍රී කාලයේත් කහවත්ත නගරයේ විරෝධතාවක් පැවැත්වුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර සදහන් කළේ ප්‍රදේශවාසීන් පිරිසක් එහිදී සාමකාමී අයුරින් විරෝධතාවයේ නිතර වූ බවයි. මේ අතර, විරෝධතාවය පැවැත්වෙන අවස්ථාවේදී කහවත්ත නගරයේ නිවසක ගින්නක් ද හට ගත්තා. එම ගින්න සහ විරෝධතාවය අතර කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

2012 වසරේ ජූලි 19 වැනිදා කහවත්ත - කොටකෙතන ප්‍රදේශයේදී මවක සහ දියණියක ඝාතනය කිරීමේ සිද්ධියේ විත්තිකරුවන් තුන්දෙනා නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය පෙරේදා තීරණය කළා. මේ අතර, අධිකරණය ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා නීතිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට පොලීසිය සූදානම් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර සඳහන් කළා.

2012 වසරේ ජූලි 19 වැනිදා කහවත්ත - කොටකෙතන ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි ලියනාරච්චිගේ ප්‍රේමවතී සහ ඇගේ දියණිය වන 23 හැවිරිදි හේවාගමගේ පුෂ්පකුමාරි ඝාතනය කර ඔවුන්ගේ නිවස තුළම ගිනි තැබීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කළේ නීතිපතිවරයා විසින්.

කෙසේ වෙතත්, සැකකරුවන් නිදහස්වීමත් සමඟ කහවත්ත නගරයේ පෙරේදා පස්වරුවේ ඇති වූයේ නොසන්සුන්කාරී තත්ත්වයක්. කොටකෙතන ප්‍රදේශවාසීන් පිරිසක් කහවත්ත නගරයේ  විරෝධතාවක ද නිරත වූ අතර පිරිස විසුරුවා හැරීමට පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ තවදුරටත් කහවත්ත ප්‍රදේශයේ ආරක්ෂාවට පොලීසිය සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට කටයුතු කර ඇති බවයි.