Update : අමුතු පොතේ වගකීම එස්.බී. භාරගනී

Friday, 05 June 2015 - 13:16

Update+%3A+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%9A+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8+%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%B6%E0%B7%93.+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
මාධ්‍යවේදීන් වෙත පෙරේදා බෙදාදුන් කතුවරයෙකු නොමැති ‘‘මේ ගැනත් සිතන්න, පක්ෂය රැක ගන්න.’’ පොත හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මත ගැටුම් උග්‍ර වී තිබෙනවා. එක් පාර්ශවයක් එහි අඩංගු කරුණු පක්ෂයට යහපත් දෙයක් බවට ප්‍රකාශ කරද්දී, තවත් පාර්ශවයක් එමඟින් පක්ෂය දෙකඩ වන බව පෙන්වා දෙනවා. එමෙන්ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ තනතුරුවල වෙනස්කම් කිහිපයක්ද ඉදිරියේදී සිදුවිය හැකි බවට මේ වනවිට විවිධ අදහස් පළ වීම විශේෂත්වයක්.

පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය හමුවට පැමිණෙමින් සිටි මාධ්‍යවේදීන් හට පළමු වරට ‘‘මේ ගැනත් සිතන්න, පක්ෂය රැක ගන්න.’’ පොත ලබාදීමට කටයුතු කර තිබුණා. එහිදී හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත එම පොත හඳුන්වා දුන්නේ කැලෑ පත්තරයක් ලෙසටයි.

මේ අතර, හොරණ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක කියා සිටියේ අදාළ පොත පක්ෂ ලේකම්වරයාගේ නිල මුද්‍රාව සහිතව තමන්ට තැපැල් මාර්ගයෙන් ලැබී ඇති බවයි. මෙවැනි සිදුවීම් පක්ෂයේ සමඟියට ගැටළුවක් බව ඔහු කියා සිටියා.

කෙසේ වෙතත්, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වු ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෑම පාක්ෂිකයෙකුම කියවිය යුතු පොතක් ලෙස හඳුන්වනු ලැබුවා.

එසේම නාරාහේන්පිට අභයාරාමයේ අද පැවති ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ගේ හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද මෙම පොත පිළිබඳව අදහස් පළ කළා. හිටපු ජනාධිපතිවරයා එම සාකච්ඡාවට යාමට පෙර තමන් ඒ ගැන නොදන්නා බව ප්‍රකාශ කළ නමුත් ඉන් පසුව එම පොතක්ද රැගෙන පිටතට පැමිණීමෙන් අනතුරුව ඔහු කියා සිටියේ එය කියවා බලා පිළිතුරු ලබාදෙන බවයි.

කතුවරයෙකු නොමැති ‘‘මේ ගැනත් සිතන්න, පක්ෂය රැක ගන්න.’’ මෙම පොත සම්බන්ධයෙන් අප කළ විමසීමට පිළිතුරු දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා කියා සිටියේ එය එස්.බී.දිසානායක අමාත්‍යවරයා විසින් ගෙනවිත් ඇති බවයි.

ඒ අනුව මෙම චෝදනාව සම්බන්ධයෙන් අප ග්‍රාමීය කටයුතු අමාත්‍ය එස්.බී.දිසානායකගෙන් කරුණු විමසුවා. ඔහු කියා සිටියේ මේ පිළිබඳව පක්ෂයේ සියලූදෙනා තොරතුරු දන්නා බවයි. තම මතකයට අනුව මන්ත්‍රීවරුන් පොත මුද්‍රණය කිරීමට පෙර එහි බොහෝ කොටස් කියවා තිබූ බවද එස්.බී. දිසානායක අමාත්‍යවරයා සඳහන් කළා. මේ පිළිබඳ අදහස් පළ කිරීමට පෙර නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා සහ ජාතික සංවිධායකවරයා තමන් සමඟ අදහස් හුවමාරු කරගත්තේ නම් එය වඩා හොඳ බවද ඔහු කියා සිටියා.  තමන් ඇතුලූ කිහිපදෙනෙකු එක්ව පොත ප්‍රකාශයට පත් කළ බව ඔහු මෙහිදී පිළිගත්තා. ඒ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද සියලූ තොරතුරු දන්නා බවයි එස්.බී. දිසානායක අමාත්‍යවරයා සඳහන් කළේ.

පක්ෂයේ තනතුරුවල වෙනස්කම් සිදුවන බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් අප කළ විමසීමට අමාත්‍ය එස්.බී.දිසානායක  පිළිතුරු ලබාදුන්නා. ඔහු කියා සිටියේ තමන්ට තනතුරු පිාළිබඳ ආශාවක් නොමැති බවයි. ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත වටේ නොගොස් ඍජුවම තමන්ට චෝදනා එල්ල කළේ නම් එය ශීලාචාර බවද ඔහු සඳහන් කළා.

Update : Friday, 05 June 2015 - 13:16
..................................................................................................................

නිදහස් පක්ෂයේ අමුතු පොත ගෙනාවේ එස්.බී. - අනුර යාපා

පක්ෂයේ සමගිය වෙනුවෙන් කටයුතු කරන තමන් ඇතුළු ප්‍රධාන නිලධාරීන් ඉවත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන තනතුරුවල වෙනසක් සිදුවන බවට පළ වී ඇති වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පෙරේදා පැවති මාධ්‍ය හමුවකට පැමිණි මාධ්‍යවේදීන් වෙත බෙදා දුන් ‘‘මේ ගැනත් සිතන්න. පක්ෂය රැක ගන්න.’’ යන නමින් වන පොත සම්බන්ධයෙන් ද මතුවූ අර්බුදය තවමත් විසඳී නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ඒකකයේ ප්‍රකාශනයක් ලෙස එම පොතෙහි සඳහන් වුවත්, එදිනම පක්ෂයේ ජාතික සංවිධායක නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත පොතේ වගකීම භාර ගැනීම ප්‍රතික්ෂේප කළා.



කෙසේ වෙතත්, මෙම පොත බෙදා හැරීම සඳහා පක්ෂ මූලස්ථානයට ලබාදී ඇත්තේ එස්.බී දිසානායක අමාත්‍යවරයා බව පක්ෂ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා කියා සිටිනවා. එය බෙදා හැරීම නතර කරන්නැයි තමන් ඊයේ දිනයේදී දැනුම්දුන් බව ප්‍රකාශ කළ ඔහු මේ සම්බන්ධයෙන් මීළඟ මධ්‍යමකාරක සභාවට දැනුම් දෙන බව ද සඳහන් කළා. මාධ්‍යවේදීන් වෙත බෙදා දුන් ‘‘මේ ගැනත් සිතන්න. පක්ෂය රැක ගන්න.’’ යන පොත පිළිබඳව කරුණු විමසීමට අමාත්‍ය එස්.බී දිසානායක සම්බන්ධ කර ගැනීමට අප උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැහැ.