ඩයස්පෝරාව ගැන ආණ්ඩුවට ප්‍රශ්න පත්‍රයක්

Thursday, 11 June 2015 - 18:59

%E0%B6%A9%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%9D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
එල්.ටී.ටී.ඊ. ය සමඟ සබඳතා තිබූ සංවිධාන සමඟ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සාකච්ඡා පැවැත්වීමෙන්, ජාතික සංහිඳියාව ගොඩනැංවීමේ වැඩපිළිවෙල අඩාල වන බව විපක්ෂ නායකවරයා අද (11) සඳහන් කළා. විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේදී මේ බව කියා සිටියේ ග්ලෝබල් ටැමිල් ෆෝරම් හෙවත් ගෝලීය දෙමළ සංසදය සමඟ විදේශ කටයුතු අමාත්‍යවරයා ලන්ඩනයේදී කළ සාකච්ඡා පිළිබඳ අදහස් දක්වමින්. මෙම සාකච්ඡාව සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගත්තේ ද යන්න සම්බන්ධයෙන් සහ එල්.ටී.ටී.ඊ. තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළේද යන්න විපක්ෂ නායකවරයා විමසා සිටියා.

එහෙත් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර කියා සිටින්නේ විදේශගත ශ්‍රී ලාංකිකයන් එක් ඩයස්පෝරාවක් ලෙස කටයුතු කළ යුතු බවයි. අමාත්‍යාංශයේ අද (11) පැවති උත්සවයකදී ඒ සම්බන්ධයෙන් ඔහු අදහස් පළ කළා.

රජය දැනටමත් තීරණය කර ඇත්තේ මේ වසර අවසානයේදී ඩයස්පෝරා උත්සවයක් පැවැත්වීමටයි. රටේ සංවර්ධනයට විදේශගත ශ්‍රී ලාංකිකයන් දායක කර ගැනීම එහි අරමුණයි. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශවලද ඩයස්පෝරාව සමඟ අන්තර් ක්‍රියාකාරීත්වයන් පැවැත්වීම වැදගත් බව සඳහන් කර තිබෙනවා. මෙරට ප්‍රතිසන්ධාන ක්‍රියාවලියට දායකත්වයක් දැක්විය හැකි විශාල පිරිසක් විදේශයන්හි ජීවත්වන බවයි රජය පෙන්වා දෙන්නේ. ආගම්, ජාති, වර්ග භේදවලින් තොර සියලූ ප්‍රජාවන්ට අයත් ශ්‍රී ලංකා ඩයස්පෝරාවේ විශේෂඥ දැනුම, කුසලතාවලින් රටට ප්‍රයෝජනයක් ගත හැකි බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ගෝලීය දෙමළ සංසදයේ සුරේන් සුරේන්ද්‍රන් ඇතුළු පිරිසක් සමඟ කළ සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන්ද එක්ව සිටියා. පසුව සුරේන් සුරේන්ද්‍රන් සහ එම්.ඒ.සුමන්දිරන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළ අතර, එහි දැක්වුණේ උතුර - නැගෙනහිර නැවත පදිංචි කරලීමේ ගැටලූ මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින සිරකරුවන් පිළිබඳ සාකච්ඡා වූ බවයි. දෙමළ ඩයස්පෝරාවේ සංවිධානවලට පසුගිය රජයෙන් පැනවූ තහංචි ඉවත් කරලීමද සාකච්ඡා වී ඇති තවත් කරුණක්.

කෙසේ වෙතත්, දෙමළ ඩයස්පෝරාව සමඟ කෙරෙන සාකච්ඡා සාධනීය පියවරක් බව නව සමාසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.

දෙමළ ඩයස්පෝරාව සමඟ පැවැත් වූ සාකච්ඡා සහ ඩයස්පෝරා උත්සවයක් පැවැත්වීම පිළිබඳ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරාගෙන් අප විමසීමක් කළා. ඔහු කියා සිටියේ ඔවුන් ශ්‍රී ලංකාවේ කටයුතුවලට සම්බන්ධ කර ගන්නේ බෙදුම්වාදය අත්හැරීම යන පූර්ව කොන්දේසිය යටතේ බවයි.