Update: අගමැතිගෙන් අනිද්දා පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්

Sunday, 21 June 2015 - 7:46

Update%3A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
නව ඡන්ද ක්‍රමය ඇතුළත් වූ විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අනිද්දා (23) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළා. මෙහිදී අග්‍රමාත්‍යවරයා විසිවන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය සහ සියලූ දේශපාලන පක්ෂ ඉදිරිපත් කර ඇති අදහස් පිළිබඳව සාරාංශයක් ඉදිරිපත් කිරීමට නියමිත බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.

එමෙන්ම, අනිද්දා පස්වරුවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිත බවට ද වාර්තා වනවා. එහිදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිය ස්ථාවරයන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති.

මේ අතර හෙට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පක්ෂ නායක හමුවක් ද කැඳවා ඇති අතර එහිදී ද 20 වන සංශෝධනය පිළිබඳව අදහස් හුවමාරු වනු ඇති බව නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

මේ අතර, සුළු පක්ෂවල නායකයන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර හමුවක් අරලියගහ මන්දිරයේදී අද (21) උදෑසන පැවැත්වුණා. මෙහිදී 20 වන සංශෝධනය සම්බන්ධයෙන් පවතින ගැටලූ සාකච්ඡාවට බඳුන් වූ බවයි ඊට එක්වූ දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක පළාත් සභා මන්ත්‍රී  මනෝ ගනේෂන් කියා සිටියේ.

අද පැවති මෙම සාකච්ඡාවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවූෆ් හකීම්, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් ද එක්ව සිටියා. 
Update :Sunday, 21 June 2015 - 12:45
--------------------------------------------------------
සුළු පක්ෂ අද අගමැති හමුවෙයි

විසිවන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සඳහා දෙමළ ජාතික සන්ධානය,  මුස්ලිම් කොංග්‍රසය ඇතුලූ සුළු පක්ෂ අද (21) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුණගැසෙනවා. විසිවන ආණ්ඩුක්‍රම සංශෝධනය සම්බන්ධයෙන් සුළු පක්ෂවල නායකයන් සහ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් අතර සාකච්ඡාවක් ඊයේ (20) පැවැත්වුණා. එහිදී සාකච්ඡා  කෙරුණු කරුණු පිළිබඳව අද අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවේදී අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දැක්වූ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පළාත් සභා මන්ත්‍රී  මනෝ ගනේෂන් කියා සිටියේ.