බැසිල්, මහින්ද සාකච්ඡාවක්

Thursday, 25 June 2015 - 18:50

%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප නියම වූ කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (25) රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. රෝහලෙන් පිටව ගිය හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද  හමුවූ බවයි වාර්තා වන්නේ. එම හමුවේදී ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බවයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ අතර, අද දිනයේ දී පාර්ලිමේන්තු සැසිවාරයට ද හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහභාගි වීමට ද නියමිතව තිබූ බව සඳහන්. අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍ය බැසිල්  රාජපක්ෂ පසුගිය 15 වනදා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරියා.

දිවිනැගුම දෙපාර්තමේන්තුවේ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූ අතර ඔහු ඉදිරිපත් කළ ඇප අයඳුම්පත කොළඹ මහාධිකරණයේදී පසුගිය 15 වනදා සලකා බැලූණා. එහිදී කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන නියෝග කළේ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 4 ක් මත මුදාහැරීමටයි. එමෙන්ම, රටින් පිටවීම තහනම් කරමින් මහාධිකරණ විනිසුරුවරිය එහිදී නියෝගයක් ද නිකුත් කළා. ජනාධිපතිවරණය අවසන්වීමත් සමඟ රටින් පිටවූ බැසිල් රාජපක්ෂ පසුගිය අප්‍රේල් මස 21 වනදා දිවයිනට පැමිණි අතර ඊට පසුදින අදාළ චෝදනා සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගත්තා.

මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සම්බන්ධීකරණය කිරීම සඳහා පත් කළ කමිටුව අද රාත්‍රියේ හිටපු ජනාධිපතිවරයා මුණ ගැසීමට නියමිතයි.