රජයේ වෛද්‍යවරුන්ගේ නිළවරණ අර්බුදය හෙටත් අධිකරණයට

Sunday, 28 June 2015 - 18:54

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%85%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමයේ සාමාජිකයන් පිරිසක් ඊයේ රැස්වී පත් කළ අතුරු පාලක මණ්ඩලයට එරෙහිව හෙට (29) දිනයේ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද  සොයිසා පවසනවා.

කෙසේ වෙතත්, ඊයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීමේදී පත් කර ගනු ලැබූ අතුරු පාලක මණ්ඩලය ව්‍යවස්ථානුකූලව පත් කර ගත් බවයි නව අතුරු පාලක මණ්ඩලයේ සභාපති විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී චන්න පෙරේරා කියා සිටියේ. කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන්ගේ නිළ නිවාස සංකීර්ණයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර, නව අතුරු කමිටුව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන කාර්යාලයේ දොර අඟුලූ විවෘත කිරීමට අද උදෑසන පැමිණීමත් සමඟ එහි ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්. සංගමයේ හිටපු නිලධාරින් ද එම ස්ථානයට පැමිණි අතර ඔවුන් ප්‍රකාශ කළේ කාර්යාලය විවෘත කිරීමට අතුරු කමිටුවට අවසරයක් නොමැති බවයි. දෙපාර්ශවය අතර ඇති වූ උණුසුම් තත්ත්වය සමනය කිරීමට එහි පැමිණි පොලිසිය ද මැදිහත් වුණා. පොලිසිය ප්‍රකාශ කළේ අධිකරණ නියෝගයක් ලබාගෙන පැමිණෙන තුරු කිසිදු පාර්ශවයකට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගම් ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමට ඉඩ නොදෙන බවයි.