නීතිවිරෝධී පෝස්ටර් ඉවත් කරන්න සේවකයන් 1989ක්

Saturday, 11 July 2015 - 8:10

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%B4%E0%B7%9D%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+1989%E0%B6%9A%E0%B7%8A
පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව මහ මැතිවරණයට අදාළව නීතිවිරෝධී ප්‍රදර්ශන පත්‍රිකා, ඡායාරූප, අත්පත්‍රිකා, කටවුට් සහ අනෙකුත් දෑ ඉවත් කිරීම සඳහා තාවකාලික සුළු කම්කරුවන් බඳවා ගැනීමට මැතිවරණ කොමසාරිස්වරයා පොලිස් දෙපාර්තමේන්තුවට අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ අනුව අදාළ කාර්යයන් සඳහා සුළු කම්කරුවන් බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටිය අනුව අනියම් සහ ආදේශක සේවකයින් යෙදවීම ඊයේ (10) සිට ක්‍රියාත්මක කළ හැකි බවයි පොලිස් මැතිවරණ කාර්යාංශය පවසන්නේ. ඊට අදාළව දිවයින පුරා පිහිටි පොලිස් කොට්ඨාස 42 සඳහා කම්කරුවන් 1989 ක් බඳවා ගැනීමට නියමිතයි. ඉන් වැඩිම පිරිස වන අසූ දෙදෙනෙකු බඳවා ගැනෙන්නේ මහනුවර පොලිස් කොට්ඨාශයටයි.

මේ අතර, මැතිවරණ සමයේ නීතිවිරෝධී අයුරින් වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා හෙද නිලධාරීන් 475 කට ආසන්න සංඛ්‍යාවකට ස්ථාන මාරු වීම් ලබාදී ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සමන් රත්නප්‍රිය කියා සිටියේ මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයාටද පැමිණිලි කළ බවයි.

එමෙන්ම, මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ලංකා විදුලි බල මණ්ඩලය තුළ නීතිවිරෝධී පත්වීම් ලබාදීමට එරෙහිව මැතිවරණ කොමසාරිස්වරයා වෙත ඊයේ පැමිණිල්ලක් සිදුකළේ ලංකා විදුලි සේවක සංගමයයි. මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබියදී සෞඛ්‍ය අමාත්‍යාංශය පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් ලෙස පත්වීම් 300 ක් පමණ ලබාදීමට ලැයිස්තු සකස් කර ඇති බවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළා.