Update : තාජුඩීන්ගේ මරණය ඝාතනයක් දැයි තවමත් කිව නොහැකියි.- පොලිසිය

Monday, 10 August 2015 - 8:16

Update+%3A+%E0%B6%AD%E0%B7%8F%E0%B6%A2%E0%B7%94%E0%B6%A9%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%80+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92.-+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA
මහේස්ත්‍රාත් පරීක්ෂණය නිම වන තුරු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය ඝාතනයක් බවට ප්‍රකාශ කළ නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවයි කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණ කළේ.

මීට වසර 3කට පමණ පෙර සැක කටයුතු ලෙස මිය ගිය වසීම් තාජුඞීන්ගේ දේහය ගොඩගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් නියෝග කළේ පසුගිය 6 වන දායි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බලමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළා.

ඒ අනුව අද පෙරවරුවේ දේහය ගොඩ ගැනීම දෙහිවල ජුම්මා මුස්ලිම් පල්ලිය සුසාන භූමියේදී සිදුකෙරුණේ ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ ඉදිරියේදීයි. වසීම් තාජුඞීන් සිය මෝටර් රථය තුළ පිළිස්සී මිය ගොස් සිටියදී නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසළ මාර්ගයේදී සොයා ගත්තේ 2012 වසරේ නොවැම්බර් 17 වන දායි. මෙම සිද්ධිය රිය අනතුරක් බවට පොලීසිය එකල කරුණු දක්වා තිබුණා.

කෙසේ වෙතත්, පසුගිය 27 වන දා රහස් පොලීසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කළේ තාජුඞීන්ගේ මරණය ඝාතනයක් බවට සැක කරන බවයි. තියුණු ආයුධයකින් ඔහුගේ ගෙළ ප්‍රදේශයට පහර දී තුවාල සිදුකර ඇති බවත්, මොට ආයුධයකින් ද ඔහුට පහර දී ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණ වූ බව රහස් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා.

දේහය මිහිදන් කළ ස්ථානයට අද දිනයේ වසීම් තාජුඩීන්ගේ සොහොයුරෙක් සහ සොහොයුරියක් මෙන්ම දේහය මිහිදන් කළ අවස්ථාවේ ආගමික චාරිත්‍ර ඉටු කළ පුද්ගලයා ද පැමිණ සිටියා. ඔවුන් විසින් දේහය හඳුනාගෙන ඇති අතර, ඥාතීන්ගේ ඉල්ලීමක් මත දේහය ගොඩ ගන්නා අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව හිමි වුණේ නැහැ.

ගොඩ ගැනුණු තාජුඩීන්ගේ දේහය පිළිබඳ ඉදිරි පරීක්ෂණ සිදුකෙරෙන්නේ කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී, විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන් ප්‍රමුඛ වෛද්‍ය මණ්ඩලයක් විසින්.                       

මේ අතර, වසීම් තාජුඩීන්ගේ දේහය පරීක්ෂණ සඳහා රැගෙන යන අවස්ථාවේදී දේහය මිහිදන් කර තිබූ දෙහිවල ජුම්මා මුස්ලිම් පල්ලිය සුසාන භූමිය ඉදිරිපිට අද උදෑසන පිරිසක් විරෝධතාවයක ද නිරත වුණා. මොවුන් අත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රුව සහිත පුවරු ද දක්නට ලැබුණා.



Update: Monday, 10 August 2015 - 19:25
---------------------------------------------------

තාජුඩීන්ගේ සිරුර ගොඩගැනේ - සුසාන භූමිය අසල උද්ඝෝෂනයක්

සැකකටයුතු ලෙස මියගිය රගර් ක්‍රීඩක වසීම් තාජුඞීන්ගේ දේහය ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ ඉදිරියේ වසර 3 කට පසු අද උදෑසන ගොඩගනු ලැබුවා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් පසුගිය 6 වනදා ලබාදුන් නියෝගයකට අනුව ගොඩගත් මළ සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා මේ වනවිට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන් භාරයට පත් කර තිබෙනවා.

වසීම් තාජුඞීන් සැකකටයුතු අන්දමින් සිය මෝටර් රථය තුළ පිලිස්සී මියගොස් සිටියදී නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනය අසල මාර්ගයේදී සොයා ගත්තේ 2012 වසරේ නොවැම්බර් 17 වනදායි. මේ සම්බන්ධයෙන් දෙවන වරට සිදුකළ පරීක්ෂණයේදී වසීම් තාජුඞීන්ගේ මරණය ඝාතනයක් බවට සැකකෙරෙන බව පසුගිය මස 27 වනදා රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

උල් ආයුධයකින් ඔහුගේ ගෙළ ප්‍රදේශයට පහරදී තුවාල සිදුකර ඇති බවත්, එසේම, මොට ආයුධයකින් ද ඔහුට පහරදී ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බවයි රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ.

තාජුඞීන්ගේ මරණය පිළිබඳව සැකයක් පවතින බැවින් ඒ පිළිබඳව නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සිරුර ගොඩගැනීමට අවසර ලබාදෙන ලෙස රහස් පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් ලබාදුන් නියෝගයකට අනුව අද මළ සිරුර ගොඩගත් අතර, දේහය මිහිදන් කර තිබූ දෙහිවල - ජුම්මා මුස්ලිම් පල්ලිය සුසාන භූමියට වසීම් තාජුඞීන්ගේ ඥාතීන් ද පැමිණ සිටි බවයි හිරු මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත් මළසිරුර ගොඩගන්නා අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යයට අවසර ලැබී තිබුණේ නැහැ. ඒ, ඥාතීන් කර තිබූ ඉල්ලීමකට අනුවයි.  

දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන්නේ කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති වෛද්‍ය මඩුල්ලක් විසින්. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අංශ ප්‍රධානී මහාචාර්ය ජින් පෙරේරා සහ නියෝජ්‍ය අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.ජී.ඒ. හේවගේ එහි සෙසු සාමාජිකයින් වනවා. මළ සිරුර ගොඩගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝ කියා සිටියේ තාජුඞීන්ගේ දේහය පොලිතීන් උරයක ඔතා මිහිදන් කර තිබූ නිසා එහි කොටස් සුරක්ෂිතව පවතින බවයි. ඒ සම්බන්ධයෙන් විද්‍යාත්මක පරික්ෂණයක් සිදුකර හැකි ඉක්මනින් අධිකරණයට වාර්තාවක් ලබාදෙන බව ඔහු සඳහන් කළා.

වසීම් තාජුඞීන්ගේ දේහය පරික්ෂණ සඳහා අධිකරණ වෛද්‍ය සහ විෂවේද ආයතනයට රැගෙන යන අවස්ථාවේදී සුසාන භූමියෙන් පිටත පිරිසක් විරෝධතාවක නිතරවුණා. එම ස්ථානයේ සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ මොවුන් අත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රුව සහිත පුවරු දක්නට ලැබුණු බවයි. 

තාජුඩීන්ගේ සිරුර ගොඩ ගැනීමට පෙර දර්ශන



තවත් දර්ශන බලාපොරොත්තු වන්න...
 



















Update : Monday, 10 August 2015 - 10.00

---------------------------------------------------------------

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ දේහය ගොඩගැනීමේ මූලික කටයුතු ඇරඹේ

සැකකටයුතු ලෙස මියගිය රගර් ක්‍රීඩක වසීම් තාජුඞීන්ගේ දේහය ගොඩගැනීමේ මූලික කටයුතු මේ වනවිට දෙහිවල - රෝහල් පාර ප්‍රදේශයේ පිහිටි සුසාන භූමියේදී සිදුකෙරෙමින් තිබෙන බව එහි සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් විසින් දේහය ගොඩගැනීම සඳහා පසුගියදා රහස් පොලීසියට අවසර ලබාදුන්නා. ඒ, රහස් පොලීසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුවයි. මේ වනවිට දෙහිවල රෝහල් පාරේ පිහිටි සුසානභූමියට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ඇතුලූ නිලධාරීන් පැමිණ සිටින බවයි එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ. සුසාන භූමිය අවට ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාවද යොදවා ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

Update : Monday, 10 August 2015 - 8:12
---------------------------------------------------------------
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ සිරුර අද ගොඩ ගැනේ

අභිරහස් ලෙස මියගිය රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ දේහය අද උදෑසන ගොඩගැනීමට නියමිතයි. සිරුර ගොඩ ගැනීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් පසුගිය දා රහස් පොලීසියට අවසර ලබාදුන්නා. මළ සිරුර ගොඩගෙන පරීක්ෂා කළ යුතු බවට රහස් පොලීසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර ඒ සම්බන්ධයෙන් තීන්දුව ලබාදෙන බවයි අතිරේක මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ. ඒ අනුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් දැනුම් දුන්නේ දේහය ගොඩගන්නා ලෙසයි. එම කටයුතු සඳහා සහය වන ලෙසද සුසාන භූමියේ පාලකවරයාට, ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාට සහ කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන්ට අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් සැකකටයුතු අන්දමින් සිය  මෝටර් රථය තුළ පිළිස්සී මියගොස් සිටියදී නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසල මාර්ගයේදී සොයාගත්තේ පසුගිය 2012 වසරේ මැයි මස 17 වනදායි. මේ සම්බන්ධයෙන් වන නඩුව පසුගිය 27 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී වසීම් තාජුඩීන්ගේ මරණය ඝාතනයක් බවට සැකකරන බව රහස් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා. උල් ආයුධයකින් ඔහුගේ ගෙළ ප්‍රදේශයට පහරදී තුවාල සිදුකර ඇති බවත්, එසේම මොට ආයුධයකින්ද ඔහුට පහරදී ඇති බවත් පරීක්ෂණවලදී හෙළිවී ඇති බවයි රහස් පොලීසිය තවදුරටත් කියා සිටියේ. මේ වනවිට වසීම් තාජුඩීන්ගේ දේහය භූමදාන කළ දෙහිවල - රෝහල් පාර ප්‍රදේශයේ පිහිටි සුසාන භූමියට පොලිස් ආරක්ෂාවද ලබාදී තිබෙනවා.