ඡන්දයට ඇතමුන් කෝටි හතක් වියදම් කරලා

Wednesday, 19 August 2015 - 18:49

%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B6%AD%E0%B6%B8%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+%E0%B7%84%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F
මෙවර මැතිවරණයේදී ඇතැම් අපේක්ෂකයින් මැතිවරණ කටයුතු සඳහා රුපියල් හත්කෝටියකට අධික මුදලක් වියදම් කර ඇති බවට කරුණු හෙළිවුණා. ඒ, මහ මැතිවරණය නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණි අන්තර්ජාතික මැතිවරණ සංවිධාන කොළඹදී අද (19) පැවැත්වූ මාධ්‍ය හමුවලදියි. එහිදී ඔවුන් අවධාරණය කළේ මැතිවරණයේදී අපේක්ෂකයින් සිදුකරනු ලබන වියදම්වල සීමාවක් තිබිය යුතු බවයි.

මෙවර මහ මැතිවරණය නිරීක්ෂණය සඳහා පැමිණි ආසියානු මැතිවරණ නිරීක්ෂන ජාලය, පොදු රාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂණ සංගමය සහ යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ දූත මණ්ඩලය මෙම මාධ්‍ය හමුවලට එක්වුණා.

මේ ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලය පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් එහි සභාපති ඩැමාසෝ මැග්බුඑල් සිදුකළේ මෙවන් ප්‍රකාශයක්.

‘‘10 කටත් අඩු අපේක්ෂකයින් සංඛ්‍යාවක් රුපියල් මිලියන 150 ක් පමණ වියදම් කරලා තියෙනවා ප්‍රචාරණය සඳහා. අපි බැලූවොත් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට මාසිකව ලැබෙන්නේ රුපියල් 89,000 ක වැටුපක්. එතකොට ඒ මුදල මාස 60 න් වැඩි කළ විට ලැබෙන්නේ රුපියල් මිලියන 5.3 ක් වගේ අගයක්. එහෙම තියෙද්දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න අපේක්ෂකයෙක් කොච්චර මුදලක් වියදම් කරනවාද ? ඒ නිසා වියදම්වලට සීමාවක් තියෙන්න  ඕනේ මැතිවරණයේදී. ඒ වගේම අර්ථ නිරූපණයක් තියෙන්න  ඕනේ නීතිමය වශයෙන් කොපමණ මුදලක් මැතිවරණයට වියදම් කරන්න පුළුවන්ද කියලා..’’

පොදු රාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂණ සංගමය පැවැත් වූ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වු එම සංගමයේ සභාපති ජෝර්ජ් ඇබෙලා කියා සිටියේ මෙවර මහ මැතිවරණය නිදහස් හා සාමකාමීව පැවති බවයි.

‘‘මෑත ඉතිහාසයේ අනෙකුත් මැතිවරණ හා බලන විට මැතිවරණය පැවති මේ වකවානුව ඉතාමත් සාමකාමීව සහ සන්සුන්ව පැවති බව සියලූම නිරීක්ෂණ කණ්ඩායම් දැක්කා. හැබැයි මැතිවරණ ව්‍යාපාරවල මූල්‍ය තත්ත්වය පිළිබඳ පාලනයක් තියෙන්න  ඕනේ. පක්ෂයේ මූල්‍ය තත්ත්වයේ විතරක් නොවෙයි අපේක්ෂකයින්ට වැය කළ හැකි මුදල පිළිබඳවත් පාලනයක් තියෙන්න  ඕනේ. මොකද ශ්‍රී ලංකාවේ ප්‍රචාරණයට සඳහා විශාල මුදලක් වැය කරන්න වෙනවා. ඒ නිසා මේක ඉතා අවාසිදායක වෙන්න පුළුවන් අඩු ආදායමක් සහිත පක්ෂවලට සහ අපේක්ෂකයින්ට. මැතිවරණයට තරඟ කරද්දී හැමෝටම සමමට්ටමින් තරඟ කිරීමට තිබෙන අවස්ථාව මේ නිසා ඇහිරී යනවා.’’

කොළඹ පැවති තවත් මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ දූත මණ්ඩලයේ ප්‍රධාන නිරීක්ෂකයා ලෙස කටයුතු කළ ක්‍රිස්ටියන් ප්‍රෙඩා මෙවර මැතිවරණයේදී ඇතැම් අපේක්ෂකයින්ගේ මැතිවරණ ව්‍යාපාරයට වැය වූ මුදල සම්බන්ධයෙන් පළ කළේ මෙවැනි අදහසක්.

‘‘පක්ෂවල මැතිවරණ ව්‍යාපාරවල මූල්‍ය පාලනයක් නැහැ. පක්ෂවල වියදම් කිරීමේ උපරිමය සහ වියදම් කිරීමේ සීමාව පෙන්වීමේ අවශ්‍යතාවයක් නැහැ ශ්‍රී  ලංකාවේ. අපේ නිරීක්ෂණවලට අනුව ඇතැම් අපේක්ෂකයින්ගේ මැතිවරණ ව්‍යාපාරය අධික වියදම් සහිතයි. සමහර අපේක්ෂකයින් ඉන්නවා යුරෝ පන්ලක්ෂයකට වැඩිය වියදම් කරපු අය.’’