TNA විපක්ෂ නායක ධුරය ඉල්ලයි

Friday, 21 August 2015 - 19:12

TNA+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය දෙමළ ජාතික සන්ධානයට හිමිවිය යුතු බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  සෙල්වම් අඩෙක්කලනාදන් පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ විපක්ෂ නායක ධුරය ලබාගැනීම සඳහා තම සන්ධානයට අවශ්‍ය සුදුසුකම් පවතින බවයි.

 ‘‘අලූතින් පත්වූ පාර්ලිමේන්තුව තුළින් නව ජාතික ආණ්ඩුවක් පිහිටුවලා තියෙන්නේ. මේ නිසා පාර්ලිමේන්තුවට ප්‍රබල විපක්ෂයක්  ඕන වෙනවා. ඒ විපක්ෂ නායක ධුරයට දෙමළ ජාතික සන්ධානයට  ඕනෑ තරම් සුදුසුකම් තියෙනවා. අපි තුන්වන බලවේගය විදියට පාර්ලිමේන්තුවේ ඉන්නවා. මීට පෙරත් ජාතික ආණ්ඩුවක් පිහිට වූ අවස්ථාවේදී අපිටයි විපක්ෂ නායක ධුරය දෙන්න තිබුණේ. නමුත් ඒ වෙලාවෙ ඒක දුන්නේ නෑ. දෙමළ ජාතික සන්ධානය ඒ ධුරය ලබා ගන්න තවත් සුදුසුකම් සම්පූර්ණ කරලයි තියෙන්නේ මේ වෙද්දි. දෙමළ ජාතික සන්ධානය විපක්ෂ නායක ධුරය භාර ගන්න එක ඉතා වැදගත්. අපි ඒ අවස්ථාව ලබාගන්නත් වැඩි බලාපොරොත්තුවකින් ඉන්නවා. ඒ නිසා අපිට ඒක ලැබෙයි.’’

පසුගිය අගෝස්තු 17 වනදා පැවති මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ආසන 105 ක් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ආසන 95 ක් හිමිවුණා.

එහිදී ඉලංගෙයි තමිල් අරසු පක්ෂයෙන් මහමැතිවරණයට තරඟ කළ දෙමළ ජාතික සන්ධානයට හිමිවූ මන්ත්‍රී  ආසන සංඛ්‍යාව 16ක්.

ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රී ආසන 06 ක්ද,  මුස්ලිම් කොංග්‍රසයට  සහ ඊ.පී.ඞී.පී. සංවිධානයට එක් මන්ත්‍රී ආසනය බැගින් ද එහිදී හිමිවුණා.