සන්ධානයේ කුඩා පක්ෂ කිසිවකට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර නැහැ - සමසමාජයේ පාර්ලිමේන්තු නියෝජනයත් අහිමි වෙයි

Saturday, 22 August 2015 - 7:48

%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B7%83%E0%B6%B8%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ජාතික ලැයිස්තු නම් කිරිමේදී රටටම උතුම් ආදර්ශයක් ලබාදුන් බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එහි මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් සඳහන් කරන්නේ යහපාලන ක්‍රමවේදයට අනුකූලව මෙවර එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුව නම් කළ බවයි. මැතිවරණයෙන් පරාජිතවූවන් ජාතික ලැයිස්තුවට නම් නොකර සියලූ දෙනාගේ එකඟත්වයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර නම් කිරීමට පක්ෂය කැප වූ බව ද අදාළ නිවේදනයේ සඳහන්.

කෙසේ වෙතත්, මන්ත්‍රීවරුන් 12 දෙනෙකුගෙන් සමන්විත එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ඊයේ නම් කළ අතර, ඊට මැතිවරණයට තරඟ කර පරාජයට පත්වූ 07 දෙනෙකුගේ නම් ඇතුළත් වී තිබීම විශේෂත්වයක්. මැතිවරණයට පෙර මැතිවරණ කොමසාරිස්වරයා වෙත භාරදුන් ලැයිස්තුවේ ඇතුළත් වූ පස් දෙනෙකු පමණයි ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස එහිදී පත්කර තිබුණේ.

සන්ධානයේ පරාජිත අපේක්ෂකයින් වන විජිත් විජයමුණි සොයිසා, එස්.බී.දිසානායක, මහින්ද සමරසිංහ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, තිලංග සුමතිපාල, අංගජන් රාමනාදන් සහ එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත් කර තිබෙනවා. සරත් අමුණුගම, ඩිලාන් පෙරේරා, මලිත් ජයතිලක, ෆයිසර් මුස්තාෆා, ඒ.එච්.එම්.ෆවුසි ජාතික ලැයිස්තුවෙන් නම් කර ඇති සෙසු මන්ත්‍රීවරුන්.

එම ලැයිස්තුවට ඇතුළත් කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී.එල්.පීරිස්, ඩිව් ගුණසේකර, මහාචාර්ය තිස්ස විතාරණ, තිස්ස අත්තනායක, ජේ. ශ්‍රී රංගා, රෙජිනෝල්ඞ් කුරේ, ජීවන් කුමාරණතුංග, ටිරාන් අලස්, මහාචාර්ය රජීව් විජේසිංහ සහ ප්‍රභා ගනේෂන්  ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස නම් කර තිබුණේ නැහැ.

කෙසේ වෙතත්, මෙහි විශේෂත්වය වූයේ සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලේඛනය ධුරයෙන් ඉවත් කළ මහලේකම් සුසිල් ප්‍රේමජයන්තගේ අත්සනින් යුතුව යවා තිබීමයි. ඔහු තනතුරේ කටයුතු කිරීම වළක්වාලමින් ලබාදුන් අධිකරණ නියෝගයේ ජාතික ලැයිස්තුව පත් කිරීම සම්බන්ධයෙන් ගැටළුවක් නොතිබූ නිසා මෙම නාමලේඛනය පිළිගත් බව මැතිවරණ කාර්යාලයේ ප්‍රකාශකයෙකු සදහන් කළා.

ජනතා විමුක්ති පෙරමුණද තමන්ට හිමිවු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක සඳහා පුද්ගලයින් නම් කර අවසන්. ඒ අනුව හිටපු විගණකාධිපති සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ සහ මැතිවරණයට තරඟ කර පරාජයට පත්වු සුනිල් හඳුන්නෙත්ති හිටපු මන්ත්‍රීවරයාද ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස එම පක්ෂය නම් කළා. කෙසේ වෙතත්, එම පක්ෂයෙන් ජාතික ලැයිස්තුවේ දෙවැනියට නම සදහන් වූ නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය ප්‍රකාශ කළේ එය අනුමත කළ නොහැකි බවයි.

මේ අතර, ජාතික ලැයිස්තුවෙන් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයට හිමි මන්ත්‍රීවරුන් දෙදෙනාගේ නම් අද දිනයේදී ප්‍රකාශයට පත් කරන බවයි දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කළේ.

මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අතරට සන්ධානය නියෝජනය කරන කුඩා පක්ෂ කිසිවක නියෝජිතයන් ඇතුළත් වන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අමතරව ශ්‍රී ලංකා මහජන පක්ෂය, මහජන එක්සත් පෙරමුණ සහ දේශවිමුක්ති ජනතා පක්ෂය දැනට එක්සත් ජනතා සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂයි. එසේම  මැතිවරණයක් අවස්ථාවේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ තවත් පක්ෂ 4ක් තරඟ කරන අතර ඒ, ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ සහ ජාතික නිදහස් පෙරමුණයි. ඔවුන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර හිමි නොවුණා සේම, ලංකා සම සමාජ පක්ෂයේ කිසිවෙකුත් ඊට ඇතුළත් නොවීම නිසා  ඔවුන්ගේ පාර්ලිමේන්තු නියෝජනය ද මෙවර අහිමි වනවා.

මැතිවරණයට පෙර ඉදිරිපත් කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුවේ සමසමාජ පක්ෂයේ නියෝජනයක් පැවතුණා. ඒ, එහි නායක මහාචාර්ය තිස්ස විතාරණයි. සමසමාජ පක්ෂයට පාර්ලිමේන්තු නියෝජනය අහිමිවීම පිළිබඳ තමන් කණගාටු වන බව මහාචාර්ය තිස්ස විතාරණ කියා සිටියා.

මීට පෙර 1977 දී සමසමාජ පක්ෂය පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර, 2000 වසරේදී ජාතික ලැයිස්තුවෙන් අවස්ථාවක් හිමිවීම නිසා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට වරම් හිමිවුණා. කෙසේ වෙතත්, සන්ධානය සමඟ තරඟ කළ කොමියුනිස්ට් පක්ෂය එක් අපේක්ෂකයෙකු පමණක් ඉදිරිපත් කළ අතර, ඔහු මාතරින් පාර්ලිමේන්තු වරම් දිනා ගත්තා.