ජගත් මහලේකම්ගෙන් නව අගමැති රනිල් වික්‍රමසිංහට දුරකථන ඇමතුමක්

Saturday, 22 August 2015 - 7:53

%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%A7+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන්, නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ඊයේ දුරකථන ඇමතුමක් ලබාදී ඔහුගේ ජයග්‍රහණයට සුබ පැතුම් එක් කළා. නිව්යෝක් නුවර ජගත් සංවිධාන මූලස්ථානය මගින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ යහපාලනය සහ ජාතික එකමුතුභාවයක් ගොඩනැගීම සඳහා වන නව අග්‍රාමාත්‍යවරයාගේ දැක්ම ජගත් මහලේකම් බෑන් කී මූන් සිය දුරකථන ඇමතුමේදී ප්‍රසාදයට ලක් කළ බවයි. මහමැතිවරණය සාමකාමී වාතාවරණයක් තුළ පැවැත්වීමට හැකිවීම සහ ඒ සඳහා විශාල ඡන්දදායක ප්‍රතිශතයක් එක්වීම පිළිබඳව ද මහලේකම්වරයා එහිදී ප්‍රශංසාව පළ කර තිබෙනවා.

ජගත් මහලේකම් බෑන් කී මූන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත වැඩිදුරටත් පවසා ඇත්තේ සියලූ ශ්‍රී ලාංකිකයන්ට දිගුකාලීන සාමයක් සහතික කරලීම සඳහා නව ජාතික එකමුතු රජය අවස්ථාවක් උදා කර දී ඇති බවයි. අග්‍රාමාත්‍යවරයා වෙත පැවරී ඇති වැදගත් කාර්ය භාරයේදී ඔහුට සාර්ථකත්වය ප්‍රාර්ථනා කරන බව ද මහලේකම්වරයා ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලාංකික ජනතාවට, ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට සහ නව අමාත්‍ය මණ්ඩලයට සහායවීමට ජගත් සංවිධානය කැප වී සිටින බවයි මහලේකම් බෑන් කී මූන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ලබාදුන් දුරකථන ඇමතුමේදී අවධාරණය කර ඇත්තේ.

 
මේ අතර ඉන්දීය අගමැතිනරේන්ද්‍ර  මෝදි සිය නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයාට සිය සුභාෂිංසන එක් කළා.  ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය ජූලි බිෂොප් ද සිය සුබ පැතුම් එක්කළේ නිවේදනයක් නිකුත් කරමින්.

කලාපීය හා ජාත්‍යන්තර අභියෝගවලට මුහුණ දීම සඳහා දෙරට අතර පවතින ශක්තිමත් ද්විපාර්ශවීය බැදීම තවත් තර කර ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටින බව  ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු ඇමතිණිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. මිනිස් ජාවාරම මැඩලීම සහ ශ්‍රී ලංකාවේ ජාතික සංහිදියාව වර්ධනය යන කරුණුවලදී ඉතා සමීපව සහය ලබාදීමට සූදානම් බව එහි තවදුරටත් සඳහන්.

සිංගප්පූරුවේ නායකයින් ද අග්‍රාමාත්‍යවරයාට සුභ පැතුම් එක්කර තිබෙනවා. ලිපියක් යොමු කරමින් එරට අගමැති  ලී හිසේන් ලූන්ග් ප්‍රකාශ කර ඇත්තේ සෞභාග්‍යමත්, සාමකාමී හා ප්‍රජාතන්ත්‍රවාදී දේශයක් උදෙසාවන රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ දැක්ම ශ්‍රී ලාංකේය ජනතාව විශ්වාස කර ඇති බව ලැබූ ජයග්‍රහණයෙන් පෙන්නුම් කරන බවයි. නව ධූර කාලය තුළදී ලාංකිකයන් අඛණ්ඩවම දියුණුව කරා යන බව තමාගේ විශ්වාසය බවද එහි දැක්වෙනවා.

මේ අතර එම ලිපිය මඟින් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ගෝ චොක් ටොන් පවසන්නේ නොසලකා හැර ඇති ශ්‍රී ලාංකිකයන් එක් කිරීම සඳහා වන අගමැතිවරයාගේ කැපවීම, ජාතික සංහිදියාවට ඉක්මනින් ලඟා කර ගැනීම සඳහා ධණාත්මක ප්‍රවේශයක් ලබා දෙන බවයි. සිංගප්පූරු නායකයින් දෙදෙනාම සිය ලිපිය අවසන් කර ඇත්තේ හැකි ඉක්මනින් සිංගප්පූරුවේ සංචාරයක් සදහා පැමිණෙන ලෙස අගමැතිවරයාට ආරාධනා කරමින්.