ටී.බී. ඒකනායකත් සන්ධාන විධායක සභාවෙන් ඉවතට

Saturday, 22 August 2015 - 10:17

%E0%B6%A7%E0%B7%93.%E0%B6%B6%E0%B7%93.+%E0%B6%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාවෙන් ඉවත් කර ඇති බවට ලිපියක් අද තමන්ටද ලැබුණු බව හිටපු අමාත්‍ය ටී.බී. ඒකනායක ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වැඩබලන මහලේකම් මහාචාර්ය විශ්වා වර්ණපාලගේ අත්සන සහිතවයි අදාළ ලිපි ඔහු වෙත යොමු කර ඇත්තේ. මීට පෙර ඊයේ හිටපු අමාත්‍යවරුන් වන කුමාර වෙල්ගම, එස්.එම්. චන්ද්‍රසේන සහ පවිත්‍රා වන්නිආරච්චි මේ ආකාරයෙන් නිදහස් සන්ධාන විධායක සභාවෙන් ඉවත් කරනු ලැබුවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව සාමාජිකයන් 72 ගෙන් සමන්විතයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 48 දෙනෙකුම එය නියෝජනය කරන අතර අනෙක් නියෝජිතයන් සන්ධානයට අයත් අනෙකුත් පක්ෂ වලට ඇතුළත්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, මහජන එක්සත් පෙරමුණ සහ දේශවිමුක්ති ජනතා පක්ෂය දැනට එක්සත් ජනතා සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ වන අතර ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ සහ ජාතික නිදහස් පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ එක්ව මැතිවරණවලට ඉදිරිපත් වුණා.

මීට  පෙර හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන සහ  ටී.බී. ඒකනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවෙන්ද ඉවත් කෙරුණා. එසේම බන්දුල ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන සහ සාලින්ද දිසානායක යන හිටපු මන්ත්‍රීවරුන්ද පසුගිය අප්‍රේල් මාසයේදී එලෙස  ඉවත් කෙරුණු අතර, සාලින්ද දිසානායක මන්ත්‍රීවරයා සන්ධාන විධායක සභාව නියෝජනය කළත් බන්දුල ගුණවර්ධන සහ රෝහිත අබේගුණවර්ධන හිටපු මන්ත්‍රීවරුන් එහි සාමාජිකයන් වන්නේ නැහැ.