කොරියානු පුහුණුවේදී තරුණයෙකු මරුට

Saturday, 22 August 2015 - 20:06

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
කොරියානු රැකියා පුහුණුවේ අවසන් අදියරට සහභාගි වූ තරුණයෙකු අතුරුගිරියේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථානයකදී හදිසියේ මියයාමේ පුවතක්  වාර්තා වුණා.

මියගොස් ඇත්තේ හම්බන්තොට - අගුණුකොලපැලැස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි  නුවන් දහනායක නමැති වයස අවුරුදු 23 ක තරුණයෙක්.

අවසන් වරට පැවැත්වුණු කොරියානු භාෂා ප්‍රවීනතා විභාගයෙන් සමත්වූ ඔහු පසුගිය 20 වනදා අදාළ අවසන් පුහුණුවට අතුරුගිරියේ පිහිටි විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථානයට පැමිණ ඇත්තේ තවත් සුදුසුකම් ලැබූ ඥාති තරුණයින් කිහිපදෙනෙකු සමගයි. එදින පළමු දේශනයට සහභාගි වූ ඔවුන් අනතුරුව ශාරිරික යෝග්‍යතා සඳහා මධ්‍යස්ථානයේ ක්‍රීඩා පිටියට ගොස් තිබෙනවා.

 වට කිහිපයක් ධාවනයේ යෙදීමෙන් අනතුරුව උපදේශකවරයා ලබාදුන් විධානයට අනුව ව්‍යායාමයක නිරත වී තිබෙනවා. එහිදී යම් අපහසුතාවයකට පත්වූ නුවන් දහනායක නම් තරුණයා එකවර බිම ඇදවැටී ඇති බව සඳහන්.

ඔහු එම ස්ථානයෙන් ඉවත් කිරීම හෝ ප්‍රථමාධාර ලබාදීම ද සිදුනොවූ බවයි පුහුණු සැසියට සහභාගි වූ ඥාති සහෝදරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. තම ඥාති සහෝදරයාගේ මරණයට අදාළ මධ්‍යස්ථානයේ නොසැලකිල්ල හේතු වූ බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති -  විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මංගල රන්දෙණියගෙන් ද විමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කළේ පුහුණු මධ්‍යස්ථානයේ පාර්ශවයෙන් යම් වරදක් සිදුවී ඇත්දැයි සොයා බැලීමට පරීක්ෂණයක් ක්‍රියාත්මක බවයි.