ජාතික ලැයිස්තුව ගැන සුසිල්ගේ කණගාටුව - සෝමවීර පොල් ගහයි

Saturday, 22 August 2015 - 19:49

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B6%AB%E0%B6%9C%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80+-+%E0%B7%83%E0%B7%9D%E0%B6%B8%E0%B7%80%E0%B7%93%E0%B6%BB+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%84%E0%B6%BA%E0%B7%92
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවට එහි හවුල්කාර පක්ෂවල අත්‍යවශ්‍ය නියෝජිතයන් පත් කිරීමට සිදුනොවීම සම්බන්ධයෙන් සන්ධානයේ හිටපු මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත සිය පුද්ගලික කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ මැතිවරණයට දින දෙකකට පෙර අධිකරණ නියෝගයක් ලැබීම හේතුවෙන් ඒ අනුව කටයුතු කිරීමට සිදුවු බවයි. කෙසේ වෙතත්, සන්ධානයට මන්ත්‍රී ආසන 95 ක් ලබා ගැනීමට හැකිවීම සන්ධානයේ පක්ෂ එකට තබාගෙන මැතිවරණයට තරඟ කිරීමේ ප්‍රතිඵලයක් බව පෙන්වා දෙන ඔහු ඡන්දය දුන් සැමට සිය පුද්ගලික ප්‍රණාමය පුදකර සිටිනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුව මැතිවරණ කොමසාරිස්වරයා වෙත යොමුකර ඇත්තේ සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයාගේ අත්සනින් යුතුවයි.

මේ අතර, සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභිකයෙකු වන සෝමවීර චන්ද්‍රසිරි කඩුවෙල - නවගමුව පත්තිණි දේවාලයට ගොස් අද (22) පස්වරුවේ පොල් ගසා දේව කන්නලව්වක් සිදුකළා. ඒ, සන්ධානයේ හවුල්කාර පක්ෂවලින් නම් කර සිටි පුද්ගලයින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස නම් නොකිරීම හේතුවෙන්.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ඊයේ (21) නම් කළ අතර, ඊට මැතිවරණයට තරඟ කර පරාජයට පත්වු 07 දෙනෙකුගේ නම් ඊට ඇතුළත්ව තිබුණා.  මැතිවරණයට පෙර මැතිවරණ කොමසාරිස්වරයා වෙත භාරදුන් ලැයිස්තුවේ ඇතුළත් වූ පස් දෙනෙකු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත්කර තිබෙනවා.

 මේ අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත් කර ඇති පරාජිත අපේක්ෂකයින් වන්නේ විජිත් විජයමුණි සොයිසා, එස්.බී.දිසානායක, මහින්ද සමරසිංහ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, තිලංග සුමතිපාල, අංගජන් රාමනාදන් සහ එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලායි.

ආචාර්ය සරත් අමුණුගම, ඩිලාන් පෙරේරා, මලිත් ජයතිලක, ෆයිසර් මුස්තාෆා, ඒ.එච්.එම්.ෆවුසි ජාතික ලැයිස්තුවෙන් නම් කර ඇති මන්ත්‍රීවරුන්.

කෙසේ වෙතත්, එම ලැයිස්තුවට කලින් ඇතුළත් කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී.එල්.පීරිස්, ඩිව් ගුණසේකර, මහාචාර්ය තිස්ස විතාරණ, තිස්ස අත්තනායක, ජේ. ශ්‍රී  රංගා, රෙජිනෝල්ඞ් කුරේ, ජීවන් කුමාරණතුංග, ටිරාන් අලස්, මහාචාර්ය රජීව් විජේසිංහ - ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස නම් කර නොතිබීමද විශේෂත්වයක්.

එක්සත් ජාතික පක්ෂයද ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර සඳහා පත් කෙරෙන පුද්ගලයින් 13 දෙනාගේ නම් මැතිවරණ කොමසාරිස්වරයා වෙත ඊයේ ඉදිරිපත් කළා.

ජනතා විමුක්ති පෙරමුණද තමන්ට හිමිවු ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර  දෙක සඳහා පුද්ගලයින් නම් කර අවසන්. ඒ අනුව හිටපු විගණකාධිපති සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ සහ මැතිවරණයට තරඟ පරාජයට පත්වු සුනිල් හඳුන්නෙත්ති හිටපු මන්ත්‍රීවරයාද ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස එම පක්ෂය නම් කළා. කෙසේ වෙතත්, මෙම නම් කිරීමට තමන් විරෝධය පළ කරන බවයි ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු ලෙස නම් කර සිටි නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය සඳහන් කළේ.

ජාතික ලැයිස්තුවෙන් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයට හිමි මන්ත්‍රීවරුන් දෙදෙනා තෝරා ගැනීම සඳහා සාකච්ඡාවක් ත්‍රිකුණාමලයේදී ආරම්භ වී ඇති බව දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. සාකච්ඡාව  පක්ෂ නායක ආර්. සම්බන්ධන්ගේ ප්‍ර ධානත්වයෙන් ආරම්භ වී තිබෙනවා.

එම සන්ධානයෙන් යාපනය සහ වන්නි දිස්ත්‍රික්කවලින් මැතිවරණයට තරඟ කර පරාජයට පත්වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සහ විනෝනෝහරාදලිංගම් නම් කළ යුතු බවයි එහි එක් පාර්ශවයක් සඳහන් කරන්නේ. එහෙත්, දෙමළ ජාතික සන්ධානයේ තවත් පාර්ශවයක් පවසන්නේ අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කරන එක් පුද්ගලයෙකු සහ කාන්තා නියෝජිතයෙක් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර  සඳහා නම් කළ යුතු බවටයි.

මේ අතර, ඒ.එල්.එම්. හිස්බුල්ලා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කිරීමට විරෝධය පළ කරමින් අද උදෑසන ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්  පැවැත්වුණා. මෙම විරෝධතාවය සංවිධාන කර තිබුණේ යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ විසින්.