අලියා අතට කැමතියි

Sunday, 23 August 2015 - 13:54

%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%92
ජාතික ආණ්ඩුවකට එක්වීම සඳහා සපුරාලිය යුතු කොන්දේසි ඇතුළත් නිදහස් පක්ෂ යෝජනාවලියට එක්සත් ජාතික පක්ෂ පාර්ශවයෙන් එකගතාවය පළ වූ බව නිදහස් පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළා.

 පසුගියදා පැවති නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ජාතික ආණ්ඩුවකට එක්වීම සදහා සපුරාලිය යුතු කරුණු ඇතුළත් යෝජනාවලියක් සකස් කිරීම සදහා කමිටුවක් පත් කෙරුණා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ප්‍රධානත්වය දරන එම කමිටුවට නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් 6 දෙනෙකු ඇතුළත්.

 ඒ අනුව, සකස් කළ අදාළ යෝජනාවලිය පිළිබදව පෙරේදා දිනයේදී අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා  කළ බවයි එහි කමිටු සාමාජිකයෙකුකියා සිටියේ.  

රාජ්‍ය - පුද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘති හැරුණු කොට, රාජ්‍ය ආයතන මුළුමනින් පුද්ගලීකරණය නොකිරීම ඊට ඇතුළත් ප්‍රධාන කරුණක්. නිදහස් අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවාවන් අඛන්ඩව පවත්වාගෙන යා යුතු බවත් එමඟින් අවධාරණය කර තිබෙනවා.  

අමාත්‍ය ධුර බෙදීමේදී නිදහස් පක්ෂයට ද ප්‍රධාන අමාත්‍යාංශය ලබාදිය යුතුය යන්න තවත් ඉල්ලීමක්.

එසේම, දේශපාලන පලිගැනීම් සිදුනොකළ යුතුය යන්න ද අදාළ යෝජනාවලියට ඇතුළත් කර ඇති බවයි අදාළ කමිටු සාමාජිකයා සදහන් කළේ. කෙසේ වෙතත්, ඉදිරියේදී පිහිටුවන ජාතික ආණ්ඩුවේ අමාත්‍ය ධුර සංඛ්‍යාව සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ. ඒ සම්බන්ධයෙන් අද (23) පස්වරුවේ අවසන් තීරණයක් පක්ෂ නායකයින් විසින් ගනු ලබනු ඇති බවයි එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්  කියා සිටියේ.