TNA ජාතික ලැයිස්තුවත් පැරදුණු අපේක්ෂකයන්ට

Monday, 24 August 2015 - 19:24

TNA+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක සඳහා මැතිවරණයට තරඟ කර පරාජයට පත් වූ අපේක්ෂකයන් දෙදෙනෙකු නම් කර තිබෙනවා. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පසුගිය මහ මැතිවරණයේදී මුලතිව් දිස්ත්‍රික්කයට තරඟ කර පරාජයට පත් වූ ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ තුරෙයි රත්නසිංහම් මෙලෙස ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා නම් කර ඇති බවයි.

මහ මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව ඉලංගෙයි තමිල් අරසු පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් හිමි වුණා. ඒ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායකයන් අතර පැවති දීර්ඝ සාකච්ජාවලින් පසුවයි මැතිවරණයට තරඟ කර පරාජයට පත් වූ අපේක්ෂකයන් මෙලෙස ජාතික ලැයිස්තුවට නම් කර ඇත්තේ.

එක්සත් ජාතික පක්ෂ, එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ද සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා මෙවර මහ මැතිවරණයෙන් තරඟ කර පරාජයට පත් වු අපේක්ෂකයන් නම් කර තිබුණා. එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූර 12ක් හිමි වූ අතර ඒ සඳහා නම් කළ 07 දෙනෙකු මෙවර මැතිවරණයට ඉදිරිපත්ව පරාජයට පත්වූවන්. ජනතා විමුක්ති පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකක් හිමි වූ අතර ඉන් එක් මන්ත්‍රී ධුරයට නම් කර තිබුණේ පරාජිත අපේක්ෂ්කයෙක්.

එක්සත් ජාතික පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 13ක් හිමි වූ අතර ඒ සඳහා නම් කළ එක් අයෙකු පරාජිත අපේක්ෂකයෙකු වුණා.  මෙම අපේක්ෂකයා මෙවර මහ මැතිවරණයට තරඟ කරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයෙන් නොවන අතර මොහු හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් නායකත්වය දරණ සමස්ත ලංකා මහජන කොංග්‍රසයෙන් පුත්තලම දිස්ත්‍රික්කයට තරඟ කර පරාජයට පත්වූවෙක් වීම ද විශේෂත්වයක්.

මේ අතර, මහ මැතිවරණයේ පරාජිත අපේක්ෂකයන් යළිත් මන්ත්‍රී ධුරවලට පත් කිරීම හෙළා දකින බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.