Update:සුදු වෑන් සිද්ධියට මර්වින්ට සිතාසි

Tuesday, 25 August 2015 - 14:47

Update%3A%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B7%83%E0%B7%92
සුදු වෑන්වලින් පැහැරගෙන ගොස් පුද්ගලයන් අතුරුදන් කිරීමේ සිද්ධීන් පිළිබඳව සාක්ෂි ලබාදීම සඳහා නොවැම්බර් මස 11 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අද සිතාසි නිකුත් කළා.

2011 වසරේ මෝදර ප්‍රදේශයේ පුද්ගලයන් තුන්දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට ඔවුන්ගේ ඥාතීන් අධිකරණය හමුවේ පවරා තිබූ හබයාස් කෝපස් නඩු 3ක් කැදවූ අවස්ථාවේදීයි විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළේ.

මෙම නඩුවල වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, යුද හමුදාපතිවරයා සහ මෝදර පොලීසියේ ස්ථානාධිපතිවරයා නම් කර තිබෙනවා.

පසුගිය දා හිටපු අමාත්‍ය මර්වින් සිල්වා රහස් පොලීසිය හමුවේ කියා සිටියේ සුදුවෑන්වලින් පැහැර ගෙන යාමේ සිද්ධීන් පිළිබඳව තොරතුරු තමා දන්නා බවයි. ඒ අනුව මෙම නඩු තුනේ සාක්ෂිකරුවෙකු ලෙස හිටපු අමාත්‍යවරයා නම් කර ඇති අතර, ඒ අනුවයි මොහුට අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර ඇත්තේ.

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා - හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට සහ බැසිල් රාජපක්ෂට එරෙහිව පසුගිය ජනවාරි මස 17 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  පැමිණිල්ලක් ඉදිරිපත් කළා.